-4.8 C
New York

දරුවන්ගේ අධ්‍යාපනය වනසන විදුහල්පතිවරු, ආණ්ඩුවත් මර නින්දේ

Published:


සජීව විජේවීර

පාසල් වේලාවේදී ගුරුවරු උපකාරක පන්ති පැවැත්වීම නැවැත්වීම සඳහා නිකුත් කළ චක්‍රලේඛයක් අවභාවිතා කරමින් මෙවර උසස් පෙළ දරුවන්ට විභාග අයිතිය අහිමි කරවීමේ සිදුවීම් ගනනාවක් දිවයිනේ පාසැල් රැසකින් වාර්තා වෙයි.

මෙලෙස අවභාවිතා කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2006 වසරේ නිකුත් කර ඇති 2006/45 දරන, සිසුන්ගේ පාසල් පැමිණීම ඉහල නැංවීම සහ පාසැල් කාළය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අයකරමින් පෞද්ගලික පන්ති වල ඉගැන්වීම වැළැක්වීම යන නමින් නිකුත් කර ඇති චක්‍රලේඛයයි.

එම චක්‍රලේඛය පෙන්වමින් විදුහල්පතිවරු තම විද්‍යාලයන්හි පැමිණීම අඩු ඇතැම් උසස් පෙළ දරුවන්ට පාසලෙන් ඉවත්වී පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වන්න යැයි බලපෑම් කරමින් සිටිති. උසස්පෙළ විභාගයට පාසලෙන් පෙනී සිටීම සඳහා පැමිණීම සියයට 80ක් තිබිය යුතුයැයි චක්‍රලේඛයේ සඳහන් වුවද එහි තවත් තැනක දක්වා ඇත්තේ එසේ නොමැති දරුවන්ට විදුහල්පති හා පාසැල් කළමණාකරන කමිටුව මගින් පිළිගන්නා කරුණු සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව විභායට වාඩිවීමට ඉඩ දිය හැකි බවයි.


පසුගිය කාළයේ රටේ පැවති කොරෝනා සහ ආර්ථික අර්බුධ හේතුවෙන් මෙම චක්‍රලේඛය කිසිසේත්ම සළකා බැලුණේ නැත. ඉන්පෙර සළකා බැලුවද දරුවන්ට විභාග අයිතිය අහිමි කිරීම සඳහා මෙම චක්‍රලේඛය භාවිතා කළ බවට වාර්තා වී නැත.


නමුත් මෙවර මෙම චක්‍රලේඛය දඩමීමා කරගනිමින් විදුහල්පතිවරුන් විසින් තම දරුවන්ගේ විභාග අයිතිය අහිමි කරමින් සිටින බවට දෙමාපියෝ චෝදනා කරති.


ගාල්ල අනුලා දේවී බාලිකා විද්‍යාලයේ සිසුවියන් කිහිපදෙනකුට සියයට 38ක හෝ පැමිණීම නැතැයි පවසමින් පාසලෙන් අස්වී පුද්ගලිකව විභාගයට ඉදිරිපත් වන්නයැයි විදුහල්පතිතුමිය බලපෑම්කර තිබිණි. එම සිසුවියන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළද ආයුර්වේද වෛද්‍ය සහතික පවා පිළිගැනීම පාසැල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේපකර තිබිණි. විද්‍යා විෂය උගන්වන ගුරුවරියක් කියා තිබුණේ පැපොල රෝගය සම්බන්ද වෛද්‍ය වාර්තා ද පිළි නොගන්නා බවයි. සියයට 38කට වඩා අඩු පැමිණීමක් තිබූ දරුවන්ට පාසලෙන් අස්වීම් සහතික ලබාගන්න යැයි බලපෑම් කළ බැවින් තම දරුවන් පාසලෙන් ඉවත්කරවා ගැනීමට දෙමාපියන් කිහිපදෙනකුම කටයුතුකර තිබිණි.

අප මේ පිළිබඳව විදුහල්පතිනී දේවිකා හපුතන්ත්‍රී මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ පාසැල් කළමණාකරණ කමිටුවේ තීරණය අනුව පැමිණීම අඩු දැරියන්ට පුද්ගලික අයදුම්කරුවන්ලෙස විභායට ඉදිරිපත්වන්නැයි දැනුම් දී ඇති බවත් ඒ අනුව දැරියන් කිහිපදෙනකුට අස්වීම් සහතික ලබා දී ඇති බවත් ය. කෙසේවුවද එලෙස අස්වීම් සහතික ලබාදුන් දැරියන් සංඛ්‍යාව පැවසීමට ඇය අපොහොසත් වූවාය.


අනුලා දේවී බාලිකා විද්‍යාලයේ බලධාරීන් විසින් සිදුකළ එම ක්‍රියාව සම්බන්දයෙන් ගාල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශ්‍රීනි වාසනා මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ දරුවන්ට අසාධාරණයක් සිදුවී ඇත්දැයි තමන් පුද්ගලිකව මැදිහත් වී සොයා බලන බවයි. පසුව අප ඇමතූ ඇය අස්වීම් සහතික ලබා නොදුන් පැමිණීම අඩු ශීෂ්‍යාවන්ට විභාගයට වාඩිවීමට අවස්ථාව ලබා දෙන ලෙස විදුහල්පතිනියට උපදෙස් දුන් බව කීවාය. ඒ පිළිබඳව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ 16 වනදා දිනය වනවිට අස්වීම් සහතිකය ලබාගන්න යැයි දැනුම් දී තිබූ සිසුවියන්ට පාසැල් අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබුණු බවයි. එයින් තහවුරු වන්නේ ද අස්වීම් සහතිකය ලැබූ දරුවන්ට බලවත් අසාධාරනයක් සිදුවී ඇති බවයි.


ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මෙවර උසස්පෙළ විභායට පෙනී සිටින සිසුන් 28 දෙනකු එකම දිනකදී පාසලට කැඳවා ඔවුන්ට අස්වීම් සහතික ලබාදී තිබිණි. මේ පිළිබඳ විමසීමට විදුහල්පති ප්‍රසන්න සෙනවිරත්න මහතා සම්බන්ද කර ගැනීමට අප උත්සාහ ගත්තද ඔහු කිසිදු ඇමතුමකට පිළිතුරු දුන්නේ නැත. එලෙස පාසලෙන් ඉවත්කර දැමූ දරුවකුගේ දෙමාපියෙකු අප සමග කියා සිටියේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් යොමු කළ බවයි. එමෙන්ම තමන් මේ සම්බන්දව ඉහලම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.


පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට ද එවැනිම අසාධාරණයක් සිදුවී තිබිණි. විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශයේ සිසුන්ගේ පැමිණීම ගැටලුවක් කර නොගත් විදුහල්පතිනිය වාණිජ හා තාක්ෂණික විෂයන් හදාරන තම දරුවන්ගේ පැමිණීම අඩුවීම ගැටලුවක් කරගෙන ඇතැයි දෙමාපියෝ චෝදනා කරති. දැනටමත් විද්‍යාලයේ දරුවන් රැසකට විදුහල්පතිනිය විසින් බලහත්කාරයෙන් අස්වීම් සහතික ලබාදී ඇත.

දෙමාපියන් චෝදනා කරන්නේ තම දරුවන්ට පුද්ගලික අයදුම්කරුවන් ලෙස ඉදිරිපත්වන්න යැයි පවසන විදුහල්පතිනිය “ඔයාලා අසමත් වුණොත් ඒක ඉස්කෝලෙ නමටත් හොඳ නෑ” යනුවෙන් පැවසූ බවයි.


ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනී යමුනා පෙරේරා මහත්මිය මෙසේ කීවාය,
“ මේක අපි පානදුර අවට පාසැල් වල විදුහල්පතිවරු කිහිපදෙනෙක් කථා තරලා ගත්තු තීරණයක්. පැමිණිම අඩු ළමයින්ට පාසලෙන් විභාගය ලියන්න ඉඩ දෙන්න බැහැ.”

මෙවැනිම සිදුවීමක් මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙන් ද වාර්තා විය. එම විද්‍යාලයේ සිසුවියන් 18දෙනකුට පමණ මෙවර උසස්පෙළ විභාගයට පාසලෙන් අයදුම් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ විදුහල්පති කන්‍යා සොයුරිය ඔවුන්ට අස්වීම් සහතිකය ලබාගෙන පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වන්නැයි බලකර තිබිණි. ‍‍‍‍

එසේ බලපෑමට ලක්වූ ශිෂ්‍යාවන් අතර රිය අනතුරකට ලක්ව මාස කිහිපයක් ප්‍රතිකාර ලැබූ ශිෂ්‍යාවක් ද සිටින අතර ඇගේ වෛද්‍ය සහතික පවා බාර ගැනීම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප රුවන්ට උසස් පෙළ විශාගය අහිමි කරන විදුහල්පතිවරු කළාය. මේ පිළිබඳව අපි විදුහල්පතිනී සුසීමා කන්‍යාසොයුරියට කථා කළ විට ඇය මෙසේ කීවාය,

“මේ තීරණය ගත්තේ පාසැල් කිහිපයකම විදුහල්පතිවරු සමග සාකච්ඡා කරලයි. මම වැඩ කරන්නේ ඒ අනුව. රටේ නීති ගැන මට වැඩක් නැහැ, අපි පාසල පාලනය කරන ක්‍රමයක් තියෙනවා, පාසලේ පැමිණීම අඩු ළමයින්ව විභාගයට යවන්න කියලද ඔයා මට කියන්නේ, මම ඔවුන්ව පාසලෙන් අස් කරලා දානවා.


මේ පිළිබඳව අප අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු සම්බන්ද අතිරේක ලේකම් රුක්මලී කාරියවසම් මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ මේ සමිබන්දයෙන් තමාට පිළිතුරක් දිය නොහැකි බවයි. සිද්ධිය පිළිබඳව තමා ලේකම්තුමා සහ මාධය අංශය දැනුවත් කරන බවද ඇය කීවාය.


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතාට දුරකථනයෙන් ඇමතූ විට ඔහුට එස්එම්එස් පණිවුඩයක් තබන ලෙස කරන ලද දැනුම් දීමට අනුව අප ගැටලුව ඉදිරිපත් කළද එයට මේ දක්වා පිළිතුරක් ලැබුණේ නැත.


අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ කාර්යාලයට ඇමතූ විට ඔහුගේ පුද්ගලික සහකාර චාමර සඳරුවන් මහතා කියා සිටියේ මේ පිළිබඳව වහාම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුකර සුදුසු පියවරක් ගන්නා බවයි.


මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ශ්‍රේෂ්ටාධිකරණයේ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව සියලුම සිසුන්ට නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බවයි. එමෙන්ම සම අධ්‍යාපන අයිතිවාසිකම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති බව හෙතෙම කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය,
“චක්‍රලේකයක් නිකුත් කරන විට එහි නිර්නායක පැහැදිලිව සටහන් විය යුතුයි. එය විදුහල්පතිවරුන්ට අවශ්‍ය විධියට පාසලෙන් පාසලට වෙනස් වෙන්න බැහැ. වරින් වර වෙනස් කරන්නත් බැහැ. ළමයින් පාසලෙන් අයින් කරන්නත් පැහැදිලි නිර්නායකයක් තිබිය යුතුයි. ඒ කිසිවක් නැතිව මේ විධියට වැඩ කරනවා නම් අසාධාරණයට ලක්වූ දෙමාපියන්ට මේ තීරණ ගත්ත අධයාපන බලධාරීන්ට විරුද්ධව ශ්‍රෙෂ්ටාධිකරණයට පැමිණිලි කරන්න පුළුවන්.”


ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මෙසේ කීවේය,
“මෙවැනි සිද්ධීන් රට පුරාම වාර්තා වෙලා තියෙනවා. මෙය දරුවන්ට කරන බලවත් අසාධාරණයක්. අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැන වහාම පියවරක් ගත යුතුයි. විභායක් සමත් වෙන්න වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ දරුවන්ට, ඔවුන්ට තමන් අධ්‍යාපනය ලබන පාසලෙන් විභාගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව දිය යුතුයි.”

විභාගයට අයදුම් කල හැකි අවසාන දිනය ලෙස විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ජූලි 21 වනදායි. රජය මේ සම්බන්දව කඩිනම් පියවර නොගතහොත් දරුවන් සිය ගනනකගේ විභාග අයිතිය අහිමි වනු ඇත.

Related articles

Recent articles

spot_img