spot_img

මැරුණු මිනිසුන්ටත් වද දෙන දොස්තරලා, ජාතික ධනය කාබාසිනියා කරති (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

අධිකරණ වෛද්‍ය විද්‍යා පටකවේදය සම්බන්ධ ඒකක තුනක් මෙරට ජාතික රෝහල් තුනෙහිම ස්ථාපිත කර ඇතත් එම ක්ෂේත්‍රයේ විශේෂඥ පුහුණුව ලබා පැමිණෙන වෛද්‍යවරුන්ට අදාළ ඒකක සඳහා පත්වීම් ලබා නොදීම හේතුවෙන් බරපතල ගැටලුවක් මතුව තිබේ.
මෙවැනි තත්වයක් මතුව ඇත්තේ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේම ‍සේවය කරන වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ බලපෑම් මත බව ද අප වෙත වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සහ ගාල්ල ජාතික රෝහලේ, අධිකරණ වෛද්‍ය පටකවේදය සම්බන්ධ සියලු පහසුකම් සහිත රසායානාගාර ස්ථාපිත කර ඇත. මහනුවර ජාතික රෝහලේ ද එවැනි ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම ඒකක පවත්වාගෙන යාමට බරපතල ම ගැටලුව වී ඇත්තේ අධිකරණ වෛද්‍ය පටකවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් එම ඒකකවල සේවයට යොදවා නොතිබීමයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ තක්සේරුව මත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් 2017 වර්ෂයේ සිට අධිකරණ වෛද්‍ය පටකවේදය විෂයක් ලෙස ශ්‍රී ලංකාව තුළ පිළිගන්නා ලද අතර එම විෂය හැදෑරීමට කැමැත්ත ඇති සුදුසුකම් සම්පූර්ණකළ වෛද්‍යවරුන්ට විදේශගතව විශේෂඥ පුහුණුව ලබාදීමට ද කටයුතු කර තිබේ. මේ වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන්නේ ද රජයේ වියදමිනි.
ඒ අනුව මෙරට අධිකරණ වෛද්‍ය පටක විද්‍යාව පිළිබඳ විදේශ පුහුණුව ලබා යළි ශ්‍රී ලංකාවට පැමිණි විශේෂඥ අධිකරණ පටකවේදී වෛද්‍ය ප්‍රදීප් බණ්ඩාර මහතාට, කොළඹ, ගාල්ල හෝ මහනුවර ජාතික රෝහලක අධිකරණ පටකවේදී ඒකකයට පත්වීම ලබාදිය යුතු වුව ද ඔහුට පත්වීම් ලබා දී ඇත්තේ මාත‍ලේ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලෙසිනි.
ඔහු කිහිප වරක්ම තමන් විශේෂඥ පුහුණුව ලබා ඇති විෂයයට අදාළව නිසි පත්වීම ලබාදෙන ලෙස ස‍ෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් සාධාරණයක් ඉටුකර නැත. ‍එම වෛද්‍යවරයාට විදේශ පුහුණුව ලබාදීමට රජය මිලියන ගණනක් මුදල් විදයම් කර ඇතත් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ම ඒ පුහුණුවෙන් ප්‍රයෝජන ගන්නේ නැත.
අධිකරණ වෛද්‍ය පටකවේදය පිළිබඳ පුහුණුව ලැබූ වෛද්‍යවරයකුගේ සේවය මෙරට සිදුවන මරණ පරීක්ෂණවල පටක පරීක්ෂණ සඳහා අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් ම ආන්දෝලනයට තුඩුදුන් ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමේ දී ද විශේෂඥ අධිකරණ පටකවේදී වෛද්‍යවරයකුගේ සේවය අත්‍යාවශ්‍ය වුව ද එම අවස්ථාව ලබාගෙන නැත.
අධිකරණ පටක්වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට වෙනත් රාජකාරී පවරා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ ජාතික රෝහලේ අධිකරණ පටකවේදය පිළිබඳ ඒකකයකට අනුයුක්ත කර ඇත්තේ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ පටකවේදී වෛද්‍යවරියයි. ඇයට මළ සිරුරු සම්බන්ධ පටකවේදය පිළිබඳ විශේෂඥ පුහුණුවක් නැත.
එමෙන් ම ගාල්ල ජාතික රෝහලේ අධිකරණ පටකවේදය සම්බන්ධ ඒකකයක් ස්ථාපිත කර එහි රසායානාගර තාක්ෂණික නිලධාරීන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩල ද සිටියි. නමුත් වෛද්‍යවරයකු නොමැති කමින් එම ඒකකය ද ක්‍රියාකරීත්වය අඩාල වී ඇත.මහනුවර ඇති ඒකකයේ තත්වය ද එවැනි ම වේ.
වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂඥයන් කාලයක පටන්, සාමාන්‍ය පටකවේදී වෛද්‍යවරුන් විසින් මළසිරුරු සසම්බන්ධ පටක පරීක්ෂණ පැවැත්වීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දී තබේ.
ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතා අධිකරණ පටකවේදය පිළිබඳ විදේශගත පුහුණුව ලබා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන වෛද්‍යවරයකුගේ සේවය ගාල්ල ජාතික රෝහලට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේන ලිඛිත ඉල්ලමක් ද කර ඇත. මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා ද එවැනි ම ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම් තිබිය දී පුහුණුව සම්පූර්ණ කර යළි පැමිණි එක් වෛද්‍යවරයකුට ලබා දී ඇත්තේ මඩකලපුව රෝහලයි. මේ අතර ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කරමින් සිට විදේශගතව විශේෂඥ අධිකරණ පටකවේදය පිළිබඳ පුහුණුව ලබා පැමිණි ඩී.ඒ.එච්.සමාධි මහත්මිය තමන් සේවය කරමින් සිටි ගාල්ල ජාතික රෝහලේ ම අධිකරණ පටකවේදය පිළිබඳ ඒකකයට අනුයුක්තයක් ඉල්ලා සිිටියාය. ඒ අනුව ඇයට පසුගිය මැයි 16 වැනි දා එම ඒකකයට මාරු මණ්ඩලයේ ද අනුමැතිය ඇතිව තාවකාලික අනුයුක්තයක් ලැබී තිබිණි.
ඒ අනුව ගාල්ල ජාතික රෝහලේ සහ බලපිටිය රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරුන් විසින් යොමුකරන ලද මළ සිරුරු පටක පරීක්ෂණ කටයුතු එම වෛද්‍යවරිය විසින් ආරම්භ කර ඇති අතර වැඩ අවසන් නොකළ පරීක්සණ 12කට වැඩි ප්‍රමාණයක් දැනටත් පවතී. එය මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ පටක්වදය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරයකු විසින් පරීක්ෂණ සිදුකරන එකම ඒකකය බවට පත්ව ඇත.
එසේ තිබියදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය ජූලි 17 වැනි දින ඊමේල් මගින් එම වෛද්‍යවරියට දැනුම් දී ඇත්තේ ඇය ගාල්ල ජාතික රෝහලෙන් ඉවත්කර අම්පාර රෝහලේ අධිකරණ වෛද්‍ය පුරප්පාඩුවක් සඳහා යොමු කර ඇති බවයි. අම්පාර රෝහලේ අධිකරණ පටකවේදය පිළිබඳ ඒකකයක් නැත.
අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ අම්පාර රෝහලේ සිටි අධිකරණ වෛද්‍යවරයා සිය බිරිඳගේ විදේශ පුහුණුව හේතුවෙන් තාවකාලිකව නිවාඩු ලබා විදේශගත වී ඇති බවයි. ඔහු විදේශ ගත වෙද්දී වෙනත් වෛද්‍යවරියකට තම සේවය ආවරණය කිරීම නීත්‍යානුකූලව භාර දී ඇති අතර ඇය එම සේවා කටයුතු තවමත් ආවරණය කරන බැවින් එම රෝහලේ එවැනි පුරප්පාඩුවක් නැත.
මේ පිළිබඳ විස්තර දැනගැනීම සහා අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සම්බන්ධ කරගනැමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය. නමුත් මේ පිළිබඳ ඒ මහතාගේ කාර්යාලයෙන් විමසූ විට එහි සිටි නිලධාරිනියක අප සමඟ කීවේ ජ්‍යෙෂ්ට අධිකරණ වෛද්‍යවරුන් කිහි දෙනකුගේ ඉල්ලීම මත වෛද්‍ය ඩී.ඒ.එච්. සමාධි මහත්මිය අම්පාර රෝහලට මාරුකර යැවූ බවයි. ඇය මාරුකර යවන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරන අධිකරණ වෛද්‍යවරු කණ්ඩායම පවසන්නේ ශ්‍රී ලංකාව තුළ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේ දී සාමාන්‍ය පටකවේදී වෛද්‍යවරුන්ගේ සේවය ලබාගැනීම ප්‍රමාණවත් සහ අධිකරණ පටකවේදය පිළිබඳ වෛද්‍යවරයකුගේ සේවය අවශ්‍ය නොවන බවයි.
මේ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබේ. අධිකරණ පටකවේදය පිළිබඳ වෛද්‍යවරුන්ගේ සේවය පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් අවශ්‍ය නොවන්නේ නම්, ජාතික රෝහල් තුනක් සඳහා රුපියල් මිලියන ගණනක් වැයකරමින් අධිකරණ පටකවේදය පිළිබඳ ඒකක ස්ථාපිත කර කාර්ය මණ්ඩල බඳවාගත්තේ කවර හේතුවක් නිසාද යන්න ගැටලුවකි.
අධිකරණ පටකවේදය පිළිබඳ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවක් නැතිනම් එවැනි පුහුණුවක් සඳහා මෙරට වෛද්‍යවරුන් විදේශතත කරන්නේ කාගේ අවශ්‍යතාවකට ද යන්නත් සොයා බැලිය යුතුය.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බැලීමේ දී පෙනී ගියේ මෙරට සිටින අධිකරණ වෛද්‍යවරුන් කිහිප දෙනකු නවක වෛද්‍යවරුන් අධිකරණ පටකවේදය පිළිබඳ පුහුණුව ලබා පැමිණීමට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.
මුලින්ම කීවේ ලංකාව තුල අධිකරණ වෛද්‍යවරුන් හිග බවත් එම නිසා එම විශේෂ පත්වීම ලබා දීම පසු කරන ලෙසත්‍ය. නමුත් දැනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකරණ වෛද්‍යවරුන් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ම දන්වා ඇත.
අවශ්‍ය වූ විටක පටකවේදී විශේෂඥවරුනේ (consultant histopathologist) ලබා ගත හැකි බැවිනඅ් අධිකරණ පටකවේදී වෛද්‍යවරු අනවශ්‍ය බව ද ඔවුන් කියා තිබිණි. නමුත් පසු ගිය වසරේ එම පටකවේදී විශේෂඥ සංගමය විසින් අධිකරණ වෛද්‍ය පටක වාර්තා කිරීමට ඔවුන් බැදී නැති බවත්, දැනට අධිකරණ වෛද්‍ය වරුන්ගේම පටක වේදය සදහා විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් ඒ සදහා අනුයුක්ත කරගන්නා ලෙසත් දන්වා ඇත.
වෛද්‍යවරුන් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් බව පවසමින් ද ඔවුන් මෙම විෂය ක්ෂේත්‍රය වර්ධනය වීම වැළැක්වීමට උත්සාහ ගනිමින් සිටී.
කෙසේ වෙතත් තමන්ට ලැබුණු විදේශ පුහුණුව අනුව තාවකාලිකව ගාල්ල ජාතික රෝහලට ලබාදුන් අනුයුක්තය නැවත කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්හිටුවා අම්පාර රෝහලට මාරු කර යැවීම සම්බන්ධයෙන් වෛද්‍ය ඩී.ඒ.එච්.සමාධ මහත්මිය සිය නීතිඥයකුගේ මාර්ගයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත එන්තරවාසියක් ද යවා ඇත.
ඇය පවසන්නේ රටට අත්‍යාවශ්‍ය සේවාවක් වන අධිකරණ පටක‍වේදය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සිටිය දී ඔවුන්ගේ සේවය ‍ලබා නොගැනීම පිළිබඳ සාධාරණය ඉටුකර දෙන්න යැයි තමන් අධිකරණයෙන් ඉල්ලා සිටිමට නොපැකිළෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles