ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව ඊශ්‍රායලය විසින් ආරම්භ කළ යුද්ධයට ඇමෙරිකාව ද මැදිහත් වීමේ සූදානමක් පවතින බව පෙනෙන්නට තිබේ.
ඉරානයේ නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟවී සිටින ස්ථානය දැනට දන්නා නමත් ඔහු ඝාතනය කිරීමට දැනට කටයුතු නොකරන බව ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පළමු ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී තමන් ඊට ආධාර හෝ අනුබල නොදුන් බව අමෙරිකාව ඒ මොහොතේ ම ප්‍රකාශ කළ නමුත්, මේ වනවිට එම ස්ථාවරයෙන් ඉවත් වෙමින් දැඩි ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.
ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා ඇත්තේ ඉරාන නායකයා සැඟවී සිටින ස්ථානය ඉතාමත් පහසු ඉලක්කයක් වුවත් දැනට ඔහු මරා දැමීමට කටයුතු නොකරන බවයි. එමෙන් ම දෙවැනි සටහනක් තබමින් කොන්දේසි විරහිතව යටත්වන්න යැයි ද ඉරාන නායයාට ඇමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහන මගින් පවසා ඇත.
ට්‍රම්ප් විසින් තැබූ තවත් සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ ඉරාන ගුවන් කලාපයේ සම්පූර්ණ බලය ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සතු බවයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා, ඉරානයේ නායකයා මරා දැමීමේ හැකියාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ඇමෙරිකාව යුද්ධයට සෘජුව මැදිහත් වීමේ අවදානමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර අමෙරිකාවට අයත් F-16, F-22 සහ F-35 ප්‍රහාරක යානා රැසක් මැදපෙරදිග කලාපය වෙත යොමුකිරීමටත් අමෙරිකාව පියවර ගෙන තිබිණි.
ට්‍රම්ගේ එම ප්‍රකාශත් සමඟ ඉරානයේ ටෙහෙරාන් නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (17) රාත්‍රියේ ප්‍රහාර 100කට වඩා එල්ල වී තිබිණි. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධිත ඉමාම් හුසේන් විශ්වවිද්‍යාලය, ටෙහෙරාන් ආසන්න කෝජියර් මිසයිල නිෂ්පාදන කම්හල ඇතුළු ස්ථාන රැසක් එම ප්‍රහාරවල ඉලක්ක වී තිබුණි.
මේ අතර ඉරාන ආධ්‍යාත්මික නායක කමෙයිනි ද X සටහනක් තබමින් පවසා ඇත්තේ, ඉරානය කිසිදිනක ඊශ්‍රායලය සමඟ සම්මුතියකට එළැඹෙන්නේ නැති බවයි. එම ප්‍රකාශයෙන් අනතුරුව ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් සහ හයිෆා ප්‍රදේශ වෙත මසියල මාලාවක් එල්ල කර තිබේ.
ඒ ප්‍රහාරවලදී ඉරානයේ නිෂ්පාදිත අති නවීන ෆාටා වන් හයිපර්සොනික් මිසයිල ද යොදාගෙන තිබුණි.
මේ අතර වාර්තාවන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරාන නායකයාගේ සමීපයෛ් ම සිටි බොහෝ පිරිසක් මියගොස් ඇති බවයි.
ඊශ්‍රායලයේ සැළසුම වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල මුළුමනින් ම නතර කර දැමීමයි. ඉරානයේ කොම් නගරය ආසන්න කඳුකර ප්‍රදේශයේ භූගත උමං මාර්ග පහකින් යුතු ෆෝඩෝ යුරේනියම් බලගැන්වීමේ කම්හලක් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන අතර ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එම කම්හල විනාශ කිරීම බව ද යුද විචාරකයෝ පෙන්වා දෙති.
එම කම්හල පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර 90ක් පොළොව අභ්‍යන්තරයේ බැවින් එය විනාශ කිරීමට නම් ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහය අත්‍යාවශ්‍ය වනු ඇත.
යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ සහ ඉරානයේ රැඳී සිටින සිය පුරවැසියන් ඉක්මණින් ඉවත්කර ගැනීමට ඉන්දියාව, චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් කටයුතු කරමින් සිටියි.
මෙවැනි යුද වාතාවරණයක් හමුවේ රුසියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ලෝකයම දැඩි විමසිල්ලකින් පසුවුව ද දැනටමත් යුද්ධයක පැටලී සිටින රුසියාව මෙම යුද්ධය සඳහා සෘජුව දායක නොවනු ඇතැයි ද විශ්වාසයක් පවතී.
ඉරානයේ අභ්‍යන්තර තොරතුරු අනුව වාර්තාවන්නේ යුධ උපකරණ රැගත් බොයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන චීන ගුවන් යානා තුනක් රේඩාර් පද්ධති මඟ හරිමින් ඉරානයට පැමිණ ඇති බවයි.
ඉරානය නමැති බූවල්ලා ක්‍රමයෙන් අඩපණ කරන බව ඊශ්‍රායලය මේ සටන් මධ්‍යයේ පවසයි.