spot_img
spot_imgspot_img

වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ ගිහින්, ප්‍රතිකාර නැතිව තිදරු මවක් මරුට

පුවත්

විදෙස්

වෛද්‍යවරුන් දන්සැල් වඳින්න යාම හේතුවෙන් තම මවට ජීවිතය අහිමිවූවා යැයි හලාවත දිස්ත්‍රික් රෝහලේ දී මියගිය තිදරු මවකගේ දියණිය චෝදනා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.අනූෂා විතාන නමැති (46) නමැති නාත්තණ්ඩිය යටකලාන ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

හලාවත දිස්ත්‍රික් රෝහලේ 05 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ තත්වය අසාධ්‍ය වී හුස්ම ගැනීමේ අපහසුතා සහ ආහාර ගැනීමට නොහැකි තත්වයක් උදා වූ අවස්ථාවේ දී ඇගේ දියණිය ඒ බව වාට්ටුවේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට කීව ද ඔවුන් කිසිවකු රෝගියා පරීක්ෂා කර නැත.

මියගිය කාන්තාවගේ දියණිය වෛද්‍යවරුන්ට තම මවට අසාධ්‍ය බව කියමින් ඇවිටිලි කරන අවස්ථාවේ දී එම වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ යාම සම්බන්ධ කතිකා කරමින් සිට දන්සැල් වෙත පිටත්ව ගිය බවයි.

එමෙන් ම සිය මව රෝහල්ගතව සිටි දින කිහිපයේ දී ම තම මවට නිසි ප්‍රතිකාරයක් නොලැබුණු බවත් හෙදියන්ට මවගේ තත්වය පවසන සෑම අවස්ථාවක දී ම අමානුෂික ලෙස බැන වදින බවත් දියණිය පවසයි.

“අම්මා හැම තිස්සේම කිව්වා මට අමාරුයි. මොනවා හරි කරන්න කියලා. නර්ස් කෙනෙකුට කියන්න කිව්වා. නර්ස්ලාට කිව්වාම එයාලා අහනවා මම විතර ද ඉන්නේ වෙන කාටහරි කියන්න කියලා. අන්තිමේ දී අම්මා කිව්වා දුවේ මේ අය මාව බලන්නේ නෑ මම කැඳ එකක් බීලා හරි සුප් එකක් බීලා හරි පන ගන්නම් කියලා. අම්මාගේ ඇඟටට පන නැතිව වෙව්ලමින් හිටියේ. අම්මා වෙව්ලනවා. මට බලාගෙන ඉන්න බැරිව දොස්තරලාට පින්සෙණ්ඩු වුණා. ඒත් එයාලා බැලුවේ නෑ. දොස්තරලා දන්සැල් වදින්න යන්න කතා කර කර ඉදලා දන්සැල්වලට යනවා කියලා පිටත්වෙලා ගියා. මගේ අම්මාව බැලුවේ නෑ. එක දොස්තර කෙනෙක් නම් දවසක් අම්මාව පොඩ්ඩක් බලලා පැනඩෝල් බිව්වම හරියාවි කියලා පැනඩෝල් දුන්නා.”

ඇය පවසන්නේ තම වමගේ අතේ සේලයින් දැමීමට අවශ්‍ය උපාංග සවිකර තිබුණ ද සේලයින් ලබා නොදුන් බවයි.

මෙම කාන්තාව මැයි මාසයේ දී කුඩා සැත්කමකට භාජනය වී ඇති අතර ඉන්පසු ජුනි මස 06 වැනි දා සිරුරට දැඩි වෙහෙසක් සහ පණ නැති ගතියක් ඇතිවීම නිසා මාරවිල මූලික රෝහලට ගොස් තිබිණි. එහි දී මාරවිල රෝහලෙන් පවසා තිබුණේ ඇගේ රුධිරයේ ප්‍රශ්නයක් තිබිය හැකි බැවින් හලාවත දිස්ත්‍රික් රෝහලේ සායනයට යන ලෙසයි. ඒ අනුව ඇය හලාවත රෝහලේ සායනයට පැමිණි විට රෝහලේ නතර කරගෙන තිබිණි.

මියගිය කාන්තාවගේ දියණිය පවසන්නේ සිය මවට දැඩි කැස්සක් තිබූ අතර සෙම සමඟ රුධිරය ද වරින් වර පිටවූ බවයි. එමෙන් ම පපුවේ පැත්තක් රිදෙන බව පවසමින් සිය මව වේදනාවෙන් සිටි බවත් ඇය කියයි.

වෛද්‍යවරුන් දන්සැල් වන්දනාවේ යද්දී සිය මව කිසිම ආහාරයක් ගැනීමට නොහැකි තත්වයට පත්ව තිබූ බවත් එවිට හෙදියන් කීවේ ගැස්ට්‍රයිටිස් විය හැකි බවත් දියණිය පවසයි.

හලාවත රෝහලේ දී ඇගේ හෘදයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ඊසීජී වාර්තාවක් ලබාගෙන ඇති අතර එහි ගැටලුවක් නැති බව ද පවසා කිසිදු ප්‍රතිකාරයක් ලබා දී නැත.

“මගේ අම්මා බෙහෙත් ඉල්ලන වෙලාවට, කෙඳිරිගාන වෙලාවට දොස්තරලත්, නර්ස්ලත් අම්මටත් මටත් බණිනවා. එයාලා බෙහෙත් දුන්නේ නෑ. වෛද්‍යවරු දන්සැල් වදින්න යනවා කියලා ගියපු දවසේ අම්මා ගාව හිටියේ මගේ ලොකු අම්මා.”

මියගිය කාන්තාවගේ සැමියා නන්දන නානායක්කාර මෙසේ කීවේය.

“මාරවිල මූලික රෝහලටට ගියේ කැරකිල්ල ගතියක් නිසා. ඒ රෝහලෙන් කිව්වා පිටින් ලේ වාර්තාවක් අරගෙන එන්න කියලා. ඒ වාර්තාව අරගෙන ගියාම ලේ අඩුයි කියලා හලාවතට යන්න කිව්වා. ඒ නිසා තමයි අපි හලාවතට ආවේ. හලාවත රෝහලෙන් ම‍ගේ නෝනාට හරියට ප්‍රතිකාර ලබාදුන්නේ නෑ. මම මේ වාට්ටුවේ ඉන්න වෛද්‍යවරුන්ට වැඳ වැටෙමින් කිව්වා මට නෝනාව කොළඹ අරගෙන යන්න දෙන්න කියලා. ඒත් ඒකට ඉඩ දුන්නේ නෑ. එයාව කොළඹ අරගෙන ගියානම් බේරාගන්න තිබුණා. බොරු කිය කියා වාට්ටුවේම තියාගෙන හිටියත් ප්‍රධාන වෛද්‍යවරු කවුරුවත් මගේ නෝනාව පරීක්ෂා කළේ නෑ. 11 වැනි දා උදේ මම එයාව බලන්න රෝහලට යනවිට ඔක්සිජන් දීලා  තිබුණා. නර්ස්ලා නෝනාට කිව්වා ඇස් ඇරගෙන ඉන්න කියලා. මගේ නෝනා ඇස් ඇරලා මට මොනවාද කියන්න හැදුවා. ඒත් කියපු දේ තේරුණේ නෑ. ටිකකින් ඇස් පියාගත්තා. නර්ස්ලා දෙන්නෙක් ඇවිත් කෘතිම ශ්වසනය දුන්නා. ඒ කෘතිම ශ්වසනය දෙද්දී මම කෑ ගැහුවා දොස්තරලා බලන්නේ නැද්ද කියලා. දොස්තර කෙනෙක් එන්න පැය භාගයකට වඩා ගියා. දොස්තර නෝනා කෙනෙක් ඇවිත් කිව්වා දැන් එයා මියගිහින්, ඒ නිසා වැඩක් නෑ කියලා.”

මෙම මරණය සම්බන්ධයෙන් අප හලාවත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායකගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

“මම මේ ගැන සොයා බැලුවා. වෛද්‍යවරු නිසි ප්‍රතිකාර නොකළා කියා රෝගියාගේ ඥාතීන්ගේ චෝදනාවක් තියෙනවා. ඒ නිනසා අපි සියලු පාර්ශව සමඟ කතා කරලා විධිමත් පරීක්ෂණයක් කරනවා.”

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා තිබේ. එම වාර්තාවේ දැක්වෙන්නේ රෝගියා නිව්මෝනියා තත්වයකින් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් රුධිරයේ ගැටලුවක් ඇති බව සඳහන් වූ බැවින් මියගිය තැනැත්තියගේ පටක සාම්පල වෛද්‍ය රසායනාගාරය වෙත යවා ඇති බව ද අධ්‍යක්ෂවරයා කීවේය.

එම වාර්තා ද ලැබුණු පසු අවසන් නිගමනයකට එළැඹීමට හැකිවනු ඇතැයි වෛද්‍ය අත්තනායක පවසයි.

මේ සම්බන්ධයෙන් Moj onews Youtube නාලිකාවේ පළකර ඇති වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles