spot_img
spot_imgspot_img

සත්ව සංගණනයේ වාර්තාව

පුවත්

විදෙස්

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය මාර්තු 15 වැනි දා විනාඩි 05 කාලයක් ඇතුළත රටපුරා සිදුකළ සත්ව සංගණ‍නයේ වාර්තාව අනුව භෝග හානි සිදුකරන රිලවුන්, වඳුරන්, මොණරුන් සහ දඬු ලේනුන් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂයකට අධික බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම සතුන්ගේ ගහණය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

නිසි ලෙස කසළ කළමනාකරණය කිරීම, වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වනජීවී කළමනාකරණයට අවශ්‍ය නීති රෙගුලාසි පැනවීම, ප්‍රජා බෝග ආරක්ෂක කමිටු පිහිටුවීම එම ප්‍රධාන නිර්දේශ අතර වෙයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ කමිටුව ප්‍රකාශ කරන්නේ මෙම සංගණනය සිදුකළේ බ්‍රිතාන්‍ය‍ය සතුන් සංගණනය සඳහා භාවිතා කරන පොයින්ට් කවුන්ටින් නමැති ක්‍රමවේදයට අනුව බවයි.

මෙම වාර්තාවට අනුව රිලව් 5,170,000කට වැඩි ප්‍රමාණයක්, වඳුරන් 1,740,000කට වැඩි ප්‍රමාණයක්, මොණරුන් 4,240,000කට වැඩි ප්‍රමාණයක් සහ දඬු ලේනුන් 2,260,000කට අධික ප්‍රමාණයක් සිටින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය නීල් සංදික කී‍වේ ය.

අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ආර්.ඩී.චිත්‍ර නයනා පවසන්නේ රාත්‍රී නිරාහාරව සිටි සතුන් උදෑසන ආහාර සොයා යන නිසා ඕනෑම පරිශ්‍රයක දී විනාඩි 05ක කාලයේ දී මෙම සතුන් ගණනය කිරීමට හැකි බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු පවසා සිටියේ, කසළ කලමනාකරණය නිසි පරිදි නොකිරීම හේතුවෙන් සත්ත්ව ගහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද ඇය කීවාය.

මෙම සංගණනයට අනුව වැඩිම රිලා ගහණයක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 634,668 දෙනෙකි. වැඩිම වඳුරු ගහණයක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 160,315කි. මොණරුන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 546,715ක් වෙයි. දඬුලේනුන් ද වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යව 621,517කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles