spot_img
spot_imgspot_img

කහ වැස්සෙන් නැහැවුනු බද්දේගම මහ පෙරහැර

පුවත්

විදෙස්

සමන් සී.ලියනගේ විසිනි

1940 අවුරුද්දේ ජුනි මාසයේ බද්දේගමට අසිරිමත් දිනයක් උදාවී තිබිණි. ඒ පොසොන් පුර පසළොස්වක පෝදා ගොතටුව පන්සලට මිහිඳු මාහිමියන්ගේ පිළිරුව වැඩමවීමේ පෙරහැර මංගල්‍යයයි.ගොතටුව පන්සලෙන් ඇරඹි එය බද්දේගම නගරය මැදින් ගොස් හල්පාතොට පාලම දක්වා ද යළි එතනින් හැරී ගිය මග ඔස්සේම පැමිණ හැඩිදෙමළා කන්ද පන්සල පිහිටි ගණේගම හන්දිය දක්වා ද ගමන් ගත්හ. මේ පෙරහැර නරඹන්නට මග දෙපස ප්‍රදේශවාසීන් රැස්ව සිටියේ සාදුකාර නංවමිනි.

එකල අලි ඇතුන් ද උඩරට නැටුම් ද ඇතුළත් ඓතිහාසික මහනුවර දළදා පෙරහැර දැකගන්නට මේ ගම්බිම්වල වැසියන්ට වාසනාව උදාවූයේ කලාතුරකිනි.පහතරට නැටුම් ඇතුළත් කතරගම මහා දේවාලයේ පෙරහැර හෝ දෙවිනුවර විශ්ණු දේවාලයේ පෙරහැර නරඹන්නට ද ඔවුනට අවස්ථාවක් උදා නොවීය. ප්‍රදේශයේ පැරණිම බෞද්ධ පෙරහැර 1920 වසරේ ඇරඹි හික්කඩුව ජනනන්දනාරාමයේ මිහිඳු පෙරහැර විය. ඉන් පසුව හික්කඩුවේ තිලකාරාමයේ ද වාර්ෂිකව පෙරහැරක් පැවැත්වීය. එහෙත් එම පෙරහැර දැක ගන්නට ද අවස්ථාව උදාවී තිබුණේ ද අතලොස්සක් දෙනාට පමණි.

තෙලිකඩ උපසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ පෙරහැර සංවිධානය කර තිබුණේ ගොතටුව පන්සලේ දායකකාරකාදීන් විසිනි. මෙකළ ගොතටුව පන්සලේ ප්‍රධාන දායකයා එල්ලගොඩ ප්‍රදේශයේ පවුලක දායකයෙකු වූ ඩී.කේ.පියරත්න මහතාය. බද්දේගම, එල්ලගොඩ,හල්ලින්න සහ ලියනදූව ගොතටුව පන්සලේ හතර පේරුව යි. ප්‍රධාන දායකයා යටතේ මේ හතරපේරුවේ ලේකම්වරු සිවු දෙනෙක් වූහ. බද්දේගම මිහිඳු පෙරහැර මංගල්‍යයේ සංවිධායක මණ්ඩලය වූයේ මේ දායක පිරිසය.

ගොතටුව පන්සලේ පෝය හේවිසි ගැසූ ගුරුන්නාන්සේලා පෙරහැරේ දවුල්, තම්මැට්ටම, හොරණෑ වාදනය කළෝය. ගොතටුව දහම් පාසලේ සහ ගොතටුව පාසලේ ළමයි කුඩ, කොඩි,සේසත් ඔසවාගෙන පෙරමුණේ ගමන් ගත්හ.ගොතටුව, ගණේගම සහ ඒ අවට ගම්වල තරුණ තරුණියෝ ද කණ්ඩායම් ලෙස නැටුම් ඉදිරිපත් කළෝය. යක් නැටුම,වැදි නැටුම, කළගෙඩි නැටුම, ගොයම් කැපීම හා ලී කෙළිය සහ බොරු කකුල්කාරයින්ගෙන් සමන්විත වූ මේ පෙරහැර සැතැපුමක් තරම් දිගු විය.

පෙරහැරේ කලා කටයුතු භාරව තිබුණේ එකළ ගොතටුව පාසලේ දීප්තිමත් සිසුවකු වූ, පසුව ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ගුරුවරයෙකු වූ ලියනදූවේ එල්.කේ. ගුණසිරි මහතාටය.ඔහු විසින් ගොක් කොළ සහ කෙසෙල් පතුරුවලින් කලාත්මකව සරසන ලද  කරත්තයක මිහිඳු මාහිමි පිළිම වහන්සේ වැඩමවා තිබිණි. එම කරත්තය ඇදගෙන ගියේ මිනිසුන් දෙදෙනෙකු විසිනි.ගොතටුව පන්සලේ දායකයකු මෙන්ම උපසේන නායක හාමුදුරුවන්ගේ සමීපතමයකු වූ කලු වැල්ලේ ගෙදර අබේවික්‍රම මහත්තයා විසින් මිහිඳු හිමි පිළිරුව අඹවා තිබුණේ විශාල වියදමක් දරමිනි.

මේ පෙරහැර බද්දේගම කුම්මේ පිට්ටනිය පසු කරද්දී ආශ්චර්යයක් සිදු විණි. ඒ රැස්ව හුන් ජනී ජනයා පුදුමයට පත් කරවමින් කහ පැහැති පොද වැස්සක් ඇද හැළීමය.රැස්ව හුන් පිරිස් දෝත් අහසට දිගු නගමින් සාදුකාර දෙන්නට වූහ.විනාඩි දහයක් පමණ පැවැති එම කහ වැස්සෙන් පෙරහැරේ සුදු ඇඳුම් ඇඳගෙන ගමන් කළ උපාසක උපාසිකාවන්ගේ ඇඳුම් කහ පැහැ ගැන්විණි. එයින් පසු බද්දේගම මිහිඳු පෙරහැර බෞද්ධයන් අතරේ ප්‍රකට පෙරහැරක් විනි.එය නරඹන්නට නන්දෙසින් ජනී ජනයා ඇදෙන්නට වූහ. පසු කලෙක අලි ඇතුන් ද,උඩරට පහතරට සහ සබරගමු නර්තන අංගයන් ද ඊට ඇතුළත් කෙරිණි. බද්දේගම ගොතටුව ශ්‍රීපාද චෛත්‍යාරාමයේ මිහිඳු පෙරහැර වාර්ෂිකව බද්දේගම පවත්වන මහා පෙරහැර මංගල්‍යයක් බවට පත්ව ඇත්තේය.

සමන් සී ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles