සුදුසුකම් නොමැති පුද්ගලයන්ට ගුරු සේවයේ ඉහළට ම පැමිණීම සඳහා වත්මන් රජය හොර මාර්ගයක් විවෘත කර දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමටත්, අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමටත් එරෙහිව කටයුතු කළ අගමැති සහ අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රමුඛ රජය දැන් තම ප්‍රතිපත්ති අමතක කරමින් ඇති බවයි.
මේ වනවිට අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සිදුකරන අතර දැනටමත් බස්නාහිර පළාතේ 210කට අධ්‍යාපන සේවයේ 2-ii ට අන්තර්ග්‍රහණය කරමින් පත්වීම් ලබා දී තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මෙසේ කීවේය.
“අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමේ දී රජය පුද්ලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය ලබාගත්තා යැයි කියන අයටත් පත්වීම් දීලා. රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ වසර 04ක උපාධියක්. එයට ප්‍රායෝගික ගුරු පුහුණුවක් ද අදාළයි. නමුත් කිසිම ප්‍රමිතියක් නැති උපාධි පිරිනමන් පුද්ගලික ආයතනවලින් විශ්වවිද්‍යාල කියලා ලේබල් කරගෙන අධ්‍යාපනවේදී උපාධි පිරිනමනවා. ඒවා අවුරුදු 04ක උපාධි නෙවෙයි. ප්‍රායෝගික පුුහුණුවක් නෑ. පුද්ගලික විශ්වවිද්‍යාවලින් අධ්‍යාපනවේදී කියාගෙන උපාධි අරගෙන එන අයත් ගුරු සේවයේ ඉහළම තැනක් වන 2-ii ට අන්තර්ග්‍රහණය කරනවා. සාමාන්‍ය උපාධිධාරියකු බඳවාගන්නේ ගුරු සේවයේ 3-I ට. මේ පත්වීම් දීපු ගුරුවරු ගැන අපි සොයා බැලුවා. රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න නම් උසස් පෙළ Z-score එක ඉහළ මට්ටමක තියෙන්න ඕන. නමුත් මේ පත්වීම් ලැබූ පුද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ගත්තු ඇතැම් අයට තියෙන්න් උසස් පෙළ වැඩ දෙකක් පමණයි. ඇතැම් පුද්ගලික විශ්වවිද්‍යාලවල නමවත් දන්නේ නෑ. මේ අය ඇවිත් තියෙන්නේ වැරදි පාරේ. මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනා විරෝධය දක්වනවා. ඒ පත්වීම් ලබාදීපු අය ගැන රජය වහාම තීරණයක් ගන්න ඕනෑ.
ලංකා ගුරු සංගමයේ ගාල්ල දිසා ලේකම් කැලුම් ද සිල්වා මෙසේ කීවේය.
“දකුණු පළාතෙත් මේ විදියටම වැරදි සහගත ලෙස බඳවාගැනීම් කළා. පුද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධි පිළිබඳ අපි සොයා බැලුවා. ඇතැම් විශ්වවිද්‍යාලවලින් රුපියල් 500,000.00ක් දුන්නාම අධ්‍යපනවේදී උපාධි සහතිකය ගන්න පුළුවන්. ගුරු පුහුණුවක් තියා දේශනවත් තියන්නේ නෑ. ඔක්කෝම ඔන්ලයින්. මාස 06න් අවුරුද්දෙන් අධ්‍යාපනවේදී උපාධිය දෙන තැන් තියෙනවා. ඉතින් මේවායින් උපාධිය ගත්තා කියලා එන අය ගුරුසේවයේ ඉහළට බඳවාගත්තාම රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන්නේ බලවත් විනාශයක්.”
ලංකා ගුරු සංගමය පවසන්නේ දැනට දින කිහිපයකට පෙර ලබාදුන් මෙම පත්වීම් අත්හිටුවා ඔවුන්ගේ සුදුසුකම් නිශ්චිතව සොයා බලා ගුරු සේවයේ සුදුසු ශ්‍රේණියකට අන්තර්ග්‍රහණය කළ යුතු බවයි.
“අගමැති සහ අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂය නියෝජනය කරන කාලයේ අපිත් එක්ක එකතුවෙලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්නත්, අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම නවත්වන්නත් කටයුතු කළා. නමුත් ඇයට අද වනවිට ඒ සියල්ල අමතක වෙලා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවම වශයෙන් මේ සඳහා නිර්ණායකවත් හදලා නෑ. මේ වැරදි වැඩේ නැවත්විය යුතුයි. ගුරු සේවයේ ඉහළ ශ්‍රේණියකට එන්න ආණ්ඩුව ඇරලා තියෙන හොර පාර වහාම වසා දැමිය යුතුයි. රටේ අනාගතය වෙනුවෙන් මේ උත්සාහය පරාජය කළ යුතුයි.” යනුවෙන් ද ස්ටාර්ලින් වැඩිදුරටත් කීවේය.