පාසැල් දැරියක අපයෝජනය කිරීම සහ එයට අනුබල දීම සම්බන්ධව ගුරුවරියකට සහ ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විණිසුරු නවරත්න ගමගේ විසින් බරපතල වැඩ සහිතව වසර 45 බැගින් වූ සිර දඬුවම් නියම කෙරිණි. මෙම සිරදඬුවම් වසර 15කින් ගෙවීයන ලෙස ලබාදීමට නියම කළ අතර විත්තිකරුවන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ 15 බැගින් වූ වන්දියක් අගතියටපත් කාන්තාවට ගෙවිය යුතු බවට ද විනිසුරුවරයා නියම කළේය.
සිය පාසලේ ඉගෙනුම ලබමින් සිටි බාල වයස්කාර දැරියක් නිවසට කැඳවාගෙන පැමිණ සැමියාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිරිපිටදීම ඇයව අපයෝජනය කිරීමට ඉඩදීමෙන් දැරියක සමූහ අපයෝජනය, ඒ සඳහා අනුබල දීම ඇතුළු අධිචෝදනා හයකට මොවුන් වදරකරු කර ඇත.
මෙයට වසර 13කට පමණ පෙර සිදුවූ මෙම අපරාධය සම්බන්දව නිලන්ත රත්නායක හෙවත් නිලංග සහ සුජීවනී ප්‍රියදර්ශනී මහවත්ත යන විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස දඬුවම් නියමකර තිබේ.
මෙම සිද්ධිය වනවිට වින්දිත තරුණිය අවුරුදු 16 මාස 10ක අයෙකු බවත් ඇගේ සම වයසේම පසුවන දැරියන් දෙදෙනකුගේ මවුපියන් වන විත්තිකරුවන් සිදුකර ඇත්තේ ඉතා බරපතල වැරදි බවත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතීඥ කේෂාණි විජේසිංහ මහත්මිය අධිකරණයේ කරුණු දක්වමින් පවසා සිටියාය. කෙසේවුවද විත්තිකරුවන් දෙදෙනාට පෙර වැරදි නොමැති බැවින් එක් වරදකට නියම කළ හැකි වසර 20 බැගින් වූ සිර දඩුවම් නියම නොකොට ලිහිල් සිර දඬුවමක් නියම කළ බව විනිසුරුවරයා පැවසීය.
මෙසේ සිර දඬුවම් නියම කරනු ලැබූ යුවලගේ අවුරුදු 17ක් වන බාල දියණියගේ බාරකාරත්වය විත්තිකරුගේ බාල සොහොයුරියට බාර දීමට ද අධිකරණය කටයුතු කළේය.