ගාල්ල ජාතික රෝහලේ දී ඊයේ (26) මියගිය තරුණයාගේ මරණය සිදුව ඇත්තේ උදරයට සහ ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති වූ බහුවිධ තුවාල නිසා අභ්‍යන්තරව අධික ලෙස රුධිරය වහනය වීමෙන් සිදු වූ කම්පනයෙන් යැයි ගාල්ල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ අද (27) තීරණය කළේය.
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පදිංචිව සිටි හල්ජෝති චතුරංග සඳරුවන් තිලකරත්න නමැති 31 හැවිරිදි තරුණයා පසුගිය 25 වැනි දා සවස 1.30ට පමණ උණවටුන ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ ද පසුදා අලුයම වනතුරු ඔහුට ප්‍රතිකා ලැබී නැතැයි ඥාතීන්ගෙන් චෝදනා එල්ල විය.
ඔහු මියයාමත් සමඟ ගාල්ල ජාතික රෝහලේ කලබලකාරී තත්වයක් ඇති වූ අතර රෝහල් කාර්ය මණ්ඩලයේ දැනුම්දීම පත පොලිසිය ද ආරක්ෂාව සඳහා පැමිණ තිබිණි.
මෙම මරණය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට චෝදනා එල්ලවීම හේතුවෙන් එම මරණය මහේස්ත්‍රාත්වරයා ලෙස යොමුකර නමුත් මහේස්ත්‍රාත්වරයා හදිසි මරණ පරීක්ෂවරයා වෙතම නැවත යොමුකර තිබිණි.
ඒ අනුව අද (27) ගාල්ල ජාතික රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
එහි දී සාක්ෂි දුන් වැල්ලගේ ඉරෝෂන් උදයංග (37) කියා සිටියේ තමන් රාත්‍රී කාලයේ තම සොහොයුරා අසළ ගාල්ල ජාතික රෝහලේ නැවතී සිටි බවයි. එම අවස්ථාවේ දී රාත්‍රිය පුරා ම ඔහුට වරින් වර මුත්‍රා සමඟ රුධිරය පිටවූ බවත්, ලේ වමනය ගිය බවත් ඔහු කියා තිබිණි. අධික වේදනාවෙන් පසු වූ සිය ඥාති සොහොයුරාට කිසියම් ප්‍රතිකාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් තමන් රෝහලේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට බැගෑපත්වුව ද ඔවුන් ප්‍රතිකාර නොකළ බව ද ඔහු මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් කියා සිටියේ ය.
ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා සිටිය දී වෛද්‍යවරුන් සහ හෙදියන් පවසා ඇත්තේ ඔහුට අමාරුවක් නොමැති බවයි. වැඩිදුරටත් සාක්ෂි දුන් ඉරෝෂන් උදයංග මෙසේ ද කීවේය.
“රෑ පුරාම මල්ලීට සැරින් සැරේ ලේ වමනය ගියා. මුත්‍රා එක්ක ලේ පිටවුණා. ඒත් එයාට කිසිම ප්‍රතිකාරයක් ලැබුණේ නෑ. කිසිම වෛද්‍යවරයෙයක් හෙදියක් හෝ වෙනත් සේවකයෙක් එයා ගැන බැලුවේ නෑ. එයා මැරුණේ වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීම නිසා. මේ මරණයට රෝහල් කාර්ය මණ්ඩලය වගකිව යුතුයි.” යනුවෙන් පෙරේදා (26) ගාල්ල ජාතික රෝහලේ දී මියගිය ගිංතොට පදිංචි හල්ජෝති චතුරංග සඳරුවන් තිලකරත්න නමැති 31 හැවිරිදි තරුණයාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ඔහුගේ ඥාති සොහොයුරකු කියා සිටියේය.
මිය ගිය පුද්ගලයාගේ ඥාති සහෝදරයකු වන වැල්ලගේ ඉරෝෂන් උදයංග (37) මෙසේ කීවේය.
“මියගොස් සිටින්නේ මගේ නැන්දාගේ පුතා. එයා අනතුරට ලක්වූ බව දැනගෙන මම 25 සවස කරාපිටිය රෝහලට ගියා. එදා රෑ මම එයා ගාව නතර වෙලා හිටියේ. මල්ලීට කිසිම ප්‍රතිකාරයක් ලැබුණේ නෑ, එයාව ට්‍රොලියක දාලා තිබුණේ. ප්‍රතිකාර කරන්න කියලත්, වේදනාව උහුලාගන්න බැහැ කියලත් මල්ලී වරින් වර කෑ ගැහුවා. ලිංගේන්ද්‍රය ආසසන්නයේ තුවාලයකට බෙහෙත් දැම්මා විතරයි. මම මල්ලීව වැසිකිළියට එක්කගෙන ගියාම මුත්‍රා සමඟ ලේ පිටවුණා. වරින් වර ලේ පාටට වමනයත් දැම්මා. ඒ බව නිතරම රෝහේල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට කිව්වත් කවුරුවත් බැලුවේ නෑ, එයාලා කිව්වේ මල්ලීට අමාරුවක් නෑ කියලා. මල්ලී ට්‍රොලියෙන් අමාරුවෙන් බැහැලා ගිහින් ගිලන්රථයකටත් නැගලා ඉල්ලුවා පුද්ගලික රෝහලකට ගෙනියන්න කියලා. ඊට පස්සේ රෝහලේ සේවකයන් ඇවිත් එයාව ආපහු වාට්ටුවේ ට්‍රොලියට දැම්මා. දිගටම මෙයා වේදනාවෙන් කෑ ගැහුවා. කොළපාට ඇඳුමක් ඇඳගත්තු නෝනා කෙනෙක් ඇවිත් ඇහුවා කෑ ගහන්නේ ඇයි කියලා. වෙන කිසිම කෙනෙක් බැලුවේ නෑ. මොනවත් බෙහෙත් දුන්නෙත් නෑ. උදේ 4.45ට විතර මල්ලී ටික ටික නිසොල්මන් වුණා. කෙඳිරිගාන එකත් නතර වුණා. මම කෑ ගහලා ලෙඩා ගැන බල්න කිව්වාම කට්ටියම ඇවිත් දෙන්නෙක් මාරුවෙන් මරුවට පපුව තද කරමින් කෘතිම ශ්වසනය දුන්නා. විනාඩි 15කින් විතර කිව්වා මල්ලී මියගියා කියලා. මේ මරණය සිදුවුණේ තනිකරම රෝහලේ වරදින්. මට කියන්න තියෙන්නේ එපමණයි.”
හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මියගිය පුද්ගලයාගේ මව ඩබ්ලිව්.ගුණවතී මහත්මිය මෙසේ කීවාය.
“මට මේ මියගිය පුතා සහ දුව විතරයි හිටියේ. පුතා විවාහ වෙලා දරුවෙක් ලැබිලා තවම දින 18යි. මේක තනිකරම රෝහලේ වැරැද්ද නිසා සිදු වූ දෙයක්. අනතුර වෙලා පුතාව රෝහලට ගෙනාපු වෙලාවේ සවස 3.30ට විතර අපි රෝහලට ආවා. පුතාගේ සිරුරේ තුවාල මොනවත් පෙනෙන්ට තිබුණේ නෑ. රෝහලෙන් දිගින් දිගටම කිව්වේ පුතාට අමරුවක් නෑ කියලා. ඒත් එයා වේදනාවෙන් කෑ ගැහුවා. ප්‍රතිකාර ඉල්ලුවා. ඒවා කිසිවක් කවුරුවත් ගණන් ගත්තේ නෑ. අන්තිමේ දී ප්‍රතිකාර නොදී මගේ පුතාව මේ රෝහලේ සේවකයන් මරා ගත්තා. මේකට වගකියන්න ඕන මේ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය. මේ ගැන සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”
මෙම මරණය රෝහලේ දී නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිදු වූ බවට ඥාතීන් චෝදනා කරන බැවින් රෝගියා රෝහල්ගතව සිටි අවස්ථාවේ දී සේවය කළ වෛද්‍යවරුන්ගෙන් සහ හෙද හෙදියන්ගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමට කටයුතු කරන බව පැවසූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා උණවටුන ප්‍රදේශයේ දී අනතුර සිදුකරන ලද කාර් රථයේ රියදුරා ද ඉදිරිපත් කරන්න යැයි පොලිසියට නියෝග කළේය.
මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ජ්‍යෙෂ්ට අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා රිය අනතුරින්, උදරයට සහ ශ්‍රෝණි ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වී ම හා ඒ හේතුවෙන් ඇති වූ අධික කම්පනයෙන් මරණය සිදුව ඇති බවත් නිගමනය කළේය.