ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි.
මෙය ඉතාමත් අසාමාන්‍ය තත්වයක් වන අතර ගෝලීය කාලගුණික විපර්යාස හේතුවෙන් වියළි කලාපීය සතුන් තෙත් කලාපයට සංක්‍රමණය වීමේ පෙර නිමිත්තක් විය හැකියැයි ද ඔහු පවසයි.
ශ්‍රී ලංකාව තුළ පැරණි ලොව වානර විශේෂ අතර කළු වඳුරන් උප විශේෂ 04ක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක්, රිලවුන් උප විශේෂ තුනක් සහ අළු වඳුරන් විශේෂයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සියලුම කළු වඳුරන්, උනහපුළුවන් සහ රිලවුන් විශේෂ සහ උපවිශේෂ සියල්ල ශ්‍රී ලංකාවට ආවේණික අතර අළු වඳුරා පමණක් මෙරට දී සහ ඉන්දියාවේ දී දක්නට ලැබෙයි.
මෙම අළු වඳුරන් විශේෂය Semnopithecus priam ලෙස විද්‍යාත්මකව හඳුන්වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී හනුමා ලෙස ද හැඳින්වේ. මෙම විශේෂයේ වඳුරන් ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් සියලුම වානර විශේෂවලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක් සතුන් තරම් කුලෑටි හෝ ලැජ්ජාශීලී සත්ව විශේෂයක් ද නොවේ. ඒ නිසා මිනිසුන් දුටුව ද ඔවුන් පළා යන්නේ නැත.
පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසන්නේ මෙම වර්ගයේ සතුන් තිදෙනකු ගාල්ලේ පිහිටි තම ගෙවත්තට පැමිණ අඹ ගසක කොළ කඩා ආහාරයට ගන්නා අයුරු තම පුතු විහඟ සෙනෙවිරත්න විසින් නිරීක්සණය කර තිබූ බවයි. එලෙස දුටු අළු වඳුන්ගෙන් දෙදෙනකු හොඳින් වැඩුණු වැඩිහිටි සතුන් දෙදෙනකු බවත්, එක් සතකු තවමත් තරුණ වියට පැමිණෙමින් සිටින සතකු බවත් ඔහු පවසයි.
විනාඩි 20ක පමණ කාලයක් ඔහුගේ ගෙවත්තේ සිටි මෙම අළු වඳුරන් තිදෙනා පසුව ගඟ ආසන්නයේ කිරල ගස්වෙත ගමන් කළ බව ද ඔහු පවසා ඇත.
අදින් වසර කිහිපකට පෙර වියළි කලාපයේ පමණක් දක්නට ලැබුණු මොණරුන් මේ වනවිට නිරිතදිග තෙත් කලාපයේ පමණක් නොව උඩරට කඳුකර ප්‍රදේශවලට ද පැතිරී සිටියි. එයට හේතුව ගෝලීය කාලගුණික විපර්යාස බව පරිසරවේදීන්ගේ මතයයි.
මෙතෙක් වියළි කලාපයේ පමණක් දක්නට ඇති කළු වඳුරන් ද මේ වනවිට තෙත් කලාපය දක්වා සංක්‍රමණය වීම ඉදිරියේ දී මෙරට පරිසර පද්ධතියේ තුල්‍යතාවයට අහිතකර බලපෑමක් සිදුකරනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
