පසුගිය සති දෙකක පමණ කාලයේ දී රටපුරා මදුරුවන් බෝවන ස්ථාන 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් බවත් ඉන් ස්ථාන 1,470කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය මැයි 09 වැනි දා සිටට 24 වැනි දා දක්වා සිදුකරන ලද විශේෂ මදුරු මර්ධන වැඩසටහනේ දී මෙම ස්ථාන හඳුනාගෙන ඇත. එහි දී ස්ථාන 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් සොයාගෙන තිබිණි. ඒ අතර මදුරු කීටයන් සහිත ස්ථාන 6,777ක් මෙහිදි හඳුනාගෙන ඇත. සිය පරිශ්‍රයන් මදුරුවන් බෝවන පරිදි පවත්වාගෙන ගිය 3,916 දෙනකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර පුද්ගලයන් 1,470කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ විශාල වර්ධනයක් දක්නට ලැබෙයි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව් සෞඛ්‍ය ගැටලුවක් වන තරමට වර්ධනය විය හැකි බවයි.
මේ නිසා තමන් අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.