spot_img
spot_imgspot_img

කතිරයේ බලය නොහඳුනන, පහතරට වතු ජනතාව

පුවත්

විදෙස්

සිරංගිකා ලොකුකරවිට විසිනි

වතුකරයේ ජනතාව යැයි කී සැණින් බොහෝ දෙනකුගේ සිහියට නැගෙන්නේ උඩරට කඳුකර ප්‍රදේශවල සිටින ඉන්දීය සම්භවයක් සහිත දෙමළ භාෂාව කතාකරන වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවයි. නමුත් ඔවුන් හැරුණු විට පහතරට ද දෙමළ ජාතිකයයෝ බොහෝ පිරිසක් ජීවත් වෙති. ඔවුන් වැඩි වශයෙන් ජීවත් වනනේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහිය.

ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වතු ආශ්‍රිතව ජීවත්වන දෙමළ භාෂාව කතාකරන මේ ජනතාවට උඩරට වතුකරයේ ජනතාවට තරම් ශක්තිමත් වෘත්තීය සමිති නැත. ඔවුන්ට සංවිධානාත්මක දේශපාලන පක්ෂ හෝ දේශපාලන බලයක් ද නැත. මේ නිසාම ඔවුහු උඩරට වතුකර ජනතාවට වඩා අසරණව, පීඩිතව සිය අයිතිවාසිකම් පවා දිනාගත නොහැකිව සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, නියාගම, උඩුගම, නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, කොටපොල, මොරවක, පිටබැද්දර සහ අකුරැස්ස යන ප්‍රදේශවල මෙම ජනතාව විසිරී ජීවත්වන අතර එම ප්‍රදේශ තේ කර්මාන්තයේ දී හඳුන්වන්නේ පහතරට වතුකරය යනුවෙනි.

පහතරට වතුකරයේ දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ

ලේඛනගත සාක්ෂි අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වතු කම්කරු වෘත්තියේ නිරත සංඛ්‍යාව 50,000ක් පමණ වන අතර ඔවුන් රජයේ වැවිලි සමාගම් හතරක් යටතේ පාලනය කරන වතු සමාගම් 16ක, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලන කෙරෙන එක් වත්තක, පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින ප්‍රධාන වතු දෙකක, පුද්ගලික තේ කර්මාන්ත ශාලා කිහිපයක සහ කුඩා ප්‍රමාණයේ වතු තිහකට අධික සංඛ්‍යාවක සේවය කරති.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කර්යාය විසින් 2023 වර්ෂයේ කරන ලද සංගණනයකට අනුව රාජ්‍ය වැවිළි සංස්ථාව යටතේ පාලනය වන වතුවල පදිංචි දෙමළ භාෂාව කතාකරන ජන සංඛ්‍යාව 14,969කි. 2022 වර්ෂයේ ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මත සකස් කරන ලද ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යා අත්පොතෙහි ගාල්ලේ වතු ජනගහනය සඳහන් කර ඇත්තේ 20,240ක් ලෙසිනි.

එසේ වුව ද ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාන පෞද්ගලික තේ කර්මාන්තශාලාවල සහ කුඩා පරිමාන පෞද්ගලික තේ වතුවල සේවය කරන දෙමළ භාෂාව කතා කරන ජනතාව පිළිබඳ තොරතුරු මෙම සංඛ්‍යාලේඛන දත්තවලට ඇතුළත්ව නැති බව අප කළ නිරීක්ෂණ අනුව තහවරු විය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ සංඛ්‍යාව රජයේ දත්තවල සඳහන් ප්‍රමාණයට වඩා අධික බව පැහැදිළිය.

මාතර දිස්ත්‍රික්කයේ දත්ත අනුව 60,000කට වැඩි කම්කරුවන් පිරිසක් වතු ආශ්‍රිත රැකියාවල නිරත වෙති. රජයට අයත් ප්‍රාදේශීය වැවිලි සමාගම්  තුනක් යටතේ පාලන කරන වතු 14ක, අක්කර දහස ඉක්මවූ මහා පරිමාන පුද්ගලික වතු සමාගම් කිහිපයක, අක්කර 400 ඉක්ම වූ පෞද්ගලික වතු සමාගමකත්, පුද්ගලික තේ වතු කර්මාන්තශාලා කිහිපයක සහ කුඩා ප්‍රමාණයේ වතු විස්සකට අධික සංඛ්‍යාවකත් ඔවුහු සේවයේ නිරතව සිටිති.

Community Development service for Plantations Peoples නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් 2017 වසරේ සිදුකරන ලද සංගනනයක තොරතුරු අනුව මාතර දිස්ත්‍රික්කයේ දෙමළ කතාකරන ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව 26,000කි. කොටපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පමණක් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ කතාකරන 10,000කට අධික පිරිසක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින බව ද එම සංගණනයේ තොරතුරු අනුව අනාවරණය වෙයි. කෙසේවුවද මාතර දිස්ත්‍රික්කයේ ද දෙමළ ජනතාව පිළිබඳ නිවැරදි දත්ත නොමැති බව පෙනීයන කරුණකි.

දළ විශ්ලේෂණයට අනුව පෙනී යන්නේ වතු ආශ්‍රිත ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ‍දෙකෙහි 100,000කට වැඩි පිරිසක් ජීවත්වන බවයි.

කෙසේ වෙතත් මෙම ජනතාවට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත. ඔවුහු දීර්ඝ කාලයක් ජීවත් වන්නේ ජීවත්වීමට කිසිසේත්ම නුසුදුසු අබලන් වූ පේළි වතු නිවාසවලය. ඔවුන්ට ඔවුන්ගේ භාෂා අයිතිය පවා අහිමිවී ඇත. දරුවන්ගේ මෙන් ම විශේෂයෙන් ම ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳ බරපතල ගැටලු ඇති අතර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමේ වරම් ද අහිමි වී තිබේ. ඔවුන්ට වතු කම්කරු රැකියාවට ම යොමුවීමට සිදුව ඇත්තේ ආර්ථික දුෂ්කරතා රැසක් ද උරුම කර දෙමිනි. අවම වශයෙන් මේ වතු කම්කරුවන්ට තමන්ගේ නමට ලිපියක් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ට ආගමික සහ සංස්කෘතික ප්‍රශ්න ගණනාවක් ද තිබේ.

මේ ජනතාවගෙන් නැගෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ වතු සමාගම්වල පරිපාලනය හෝ රට පාලනය කරන ආණ්ඩු හෝ තමන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු නොකරන බවයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිටින පහතරට වතු ප්‍රජාවටට උඩරට වතු කම්කරුවන්ට මෙන් ශක්තිමත් වෘත්තීය සමිති හෝ දේශපාලන නියේජිතයන් හෝ නැත. මේ නිසාම වතු පාලකයන් සමඟ හෝ දේශපාලන බල අධිකාරිය සමඟ කේවල් කිරීමට හැකි නියෝජිතයන් ද ඔවුන්ට නැත.

ඔවුන් අතර, ප්‍රජා නායකයන් ද නැත. පහතරට වතු ප්‍රජාව තුළින් ම එවැනි නායකයන් බිහිවන්නේ නම් පාලකයන් කරන්නේ ඔවුන් ආරම්භයේ දී ම තලා පෙලා විනාශ කර දැමීමයි. පදිංචි නිවසින් එළියට ඇද දැමීම හෝ රැකියාව අහිමිකර වත්තෙන්ම එළවා දැමීම හෝ සිදුකරයි.

පහතරට වතුකර ජනතාගේ දහසකුත් එකක් ප්‍රශ්න වලට දේශපාලන නායකත්වයේ මැදිහත් වීමකින් තොරව විසඳුම් සෙවීමට හැකි ද යන ගැටලුවකි. මේ සඳහා හොඳම විසඳුම ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනයේ ය. ඒ නිසා ම පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට ද පහතරට වතුකරයේ දෙමළ ජනතාවගේ නියෝජිතයකු තෝරා පත්කර යැවීමට හැකිනම් ඔවුන්ට දේශපාලන නියෝජනයක් ලැබෙනු ඇත.

වතු ආශ්‍රිත දෙමළ ජනතාවට පහසුකම් සැපයීමේ වගකීම පළාත් පාලන ආයතන විෂය පථයට ද ඇතුළත්ව ඇත. නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

2024 පැවැත් වූ මහ මැතිවරණයේ සහ පසුගිය මැයි 06 වැනි දා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද හැසිරීම අනුව පෙනීයන්නේ තමන්ගේම නියෝජිතයන් ප්‍රාදේශීය සභා කිහිපයකට ම පත්කර ගැනීමට පමණක් නොව පහතරට වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් සඳහා නියෝජිතයකු පත්කර ගැනීම වුවද මේ ජනතාවට අසීරු කරුණක් නොවන බවයි. නමුත් ඔවුන් එය මෙතෙක් නිසි පරිදි තේරුම් ගෙන නැත. ඔවුන් ඒ ඒ දේශපාලන පක්ෂවලට බෙදී සිටින නිසාම බලය කේන්ද්‍ර කරගැනීමට නොහැකිව සිටිති.

2002 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් කුවෙනිස් කුමාර් යන දෙමළ ජාතිකයකු පත්කළ ද ඔහු සභික ධූරයේ දිවුරුම් දී දින කිහිපයකට පසු ඉල්ලා අස්වූයේ ය. මෙරට ඉතිහාසයේ පහතරට වතු දෙමළ ජනතාව වෙනුවෙන් පළාත් පාලන ආයතනයක් නියෝජනය කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුය.

කොට්ඨාස සහ සමානුපාතික යන මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ 2018 වසරේ පැවැති පළමු පළාත් පාලන මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය සභාවට පහතරට වතු දෙමළ ජනතාවගේ නියෝජිතයන් තිදෙනකු පත්ව සිටියහ.

එවර මැතිවරණයෙන් කොටපො‍ළ ප්‍රාදේශීය සභාවේ කන්දිලිපාන කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂයේ ටී.රාජ්කුමාර් විසින් ද තැනිපිට කොට්ඨාසය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇලෙක්සැන්ඩර් සීමන් විසින් ද ජයග්‍රහණය කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ කොටපොළ ප්‍රාදේශීය සභාවේ අනෙකුත් කොට්ඨාසවලට සාපේක්ෂව තැනිපිට කොට්ඨටාසයේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබූ බැවින් එම පක්ෂයෙ නියෝජනය කරමින් තැනිපිට කොට්ඨාසයට ඉදිරිපත් වූ කදිරේෂන් කන්නන් ද නියෝජිතයකු ලෙස සභාවට පත්කර තිබිණි.

ඊට පෙර පැවැති සමානුපාතික ක්‍රමය යටතේ ද දෙමළ ජාතිකයන් මැතිවරණවලට තරඟ කර ඇති නමුත් ඔවුන්ට ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබිණි. නමුත් ජනවර්ගයක් ඒකරාශී ව සිටින ප්‍රදේශයක දී කොට්ඨාස ක්‍රමයෙන් මහජන නියෝජිතත්වය ලබාගත හැකි බවට පළාත් පාලන මැතිවරණය හොඳම උදාහරණයකි.

මෙවර මැතිවරණයේ දී තැනිපිට කොට්ඨාසයෙන් තරඟ කළ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා හිටපු නියෝජිත කදිරේෂන් කන්නන් එම කොට්ඨාසය ජයග්‍රහණය කරමින් ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටියි. බහුමන්ත්‍රී ආසනයක් වූ තැනිපිට කොට්ඨාසයේ අනෙක් මන්ත්‍රීවරයා වන්නේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියකු වන ප්‍රේමරත්න රන්කඩුව මහතාය.

එමෙන් ම කොටපොළ ප්‍රාදේශීය සභාවට කන්දිල්පාන කොට්ඨාසයෙන් ද ආර්.පුණියමූර්ති තරඟ කළ අතර ඔහු ද ජයග්‍රහණය කිරීම නිසා කොටපොළ ප්‍රාදේශීය සභාවට පහතරට වතුකර දෙමළ ජනතාවගේ නියෝජිතයෝ දෙදෙනෙක් පත්ව සිටිති.

2018 මැතිවරණයේ දී පත්වූ එම ජනතාවගේ නියෝජිතයන් ගණන 03ක් වුව ද මෙවර එම සංඛ්‍යාව දෙදෙනකු දක්වා අඩු වී තිබෙනු දක්නට ලැබෙයි.  

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුව ඇති සංඛ්‍යාලේඛන අනුව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි වතු 05ක පදිංචි පවුල් සංඛ්‍යාව 620ක් වන අතර ජන සංඛ්‍යාව 2,295කි. නමුත් එම සංඛ්‍යාවට ඇතුළත්ව ඇත්තේ වතු පහක පදිංචි ජනතාව සම්බන්ධ විස්තර පමණි. අප දන්නා තරමින් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කුඩා තේ වතු ආශ්‍රිතව වතු කම්කරු ජනතාව විශාල පිරිිසක් ජීවත්ව සිටිති.

අපි එම පිරිස සංගණනයට ලක්ව ඇති පිරිසෙන් අඩක් යැයි උපකල්පනය කළහොත් එම සංඛ්‍යාව 1,150ක් වෙති. එවිට බද්දේගම ප්‍රාදේශීය සභාවේ පමණක් වතු ආශ්‍රිත කම්කරු ජනතාව 3,445කි. ඉන් අවම වශයෙන් 75%ක් වත්, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවය. ඒ අනුව බද්දේගම ප්‍රාදේශීය සභාවේ පමණක් එම ජන කොට්ඨාසයට අයත් ජනතාව අවම වශයෙන් 2,500කට අධිකය. ඒ අතරින් 1,500ක් පමණ ඡන්දය හිමි පිරිස වෙති. බද්දේගම ප්‍රාදේශීය සභාවට දෙමළ ජාතික නියෝජිතයකු පත්කර ගැනීමට මේ ඡන්ද ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ය.

එසේ වුව ද පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් හෝ 2025 පළාත් පාලන මැතිවරණයෙන් හෝ බද්දේගම ප්‍රාදේශීය සභාවට දෙමළ ජාතිකයකු පත්කර ගැනීමට එම ජන කොට්ඨාසය සමත් වී නැත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වතු හයක් ආශ්‍රිතව  පවුල් 1,622ක පුද්ගලයන් 6,832ක් ජීවත් වෙති. සංගණනයට ලක් නොවූ කුඩා තේවතු ආශ්‍රිත ජනතාව ඉන් අඩක් ලෙස සැළකුවහොත් එම සංඛ්‍යාව 10,200ට අධිකය. ඉන් 75%ක් දෙමළ ජාතිකයන් යැයි උපකල්පනය කරන්නේ නම් නාගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පමණක් දෙමළ වතු කම්කරුවන් සංඛ්‍යාව 7,600 ඉක්මවයි. එ අතර ඡන්ද දායකයන් 5,000ක් පමණ සිටිතැයි උපකල්පනය කළහොත් නාගොඩ ප්‍රාදේශීය සභාවට සභිකයන් දෙදෙනකු හෝ තිදෙනකු පත්කරගැනීම අසීරු කරුණක් නොවේ.

අපගේ නිරීක්ෂණ අනුව පෙනී යන්නේ ඇල්පිටිය, වැලිවිටිය දිවිතුර, නියාගම, නෙළුව සහ තවලම වැනි ප්‍රාදේශීය සභාවලට ද නියෝජිතයන් පත්කර යැවීමට ප්‍රමාණවත් තරම් පහතරට වතුකර දෙමළ ජනතාවක් ඒ ඒ ප්‍රදේශවල ජීවත්ව සිටිය ද ඔවුන් ඊට අසමත්ව ඇති බවයි.

වී.රාජේන්ද්‍රන් 2009 සහ 2014 වර්ෂවල දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවට තරඟ කළ අයෙකි. ලංකා ජාතික වතු කම්කරු සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන ඔහු පවසන්නේ මෙවැනි කතාවකි.

වී.රාජේන්ද්‍රන්

“ඡන්ද හාරදහසක් වගේ ප්‍රමාණයක  තමයි මට ලැබුණෙ. නමුත් දිස්ත්‍රික්කයේ විසුරුණු  දෙමළ ඡන්ද විසිදහසකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. වතු කම්කරු ඡන්දත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. පළාත් සභාවට විතරක් නොවෙයි පහතරට වතුකරයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයෙක් යවන්න පුළුවන් ලේසියෙන්ම. ඒත් එහෙම හිතන්නෙ නැහැ. ඔවුන්ට එහෙම දේශපාලන අවබෝධයක් නැහැ. මිනිස්සු ප්‍රශ්න එක්ක පොරබදමින් ජීවත් වෙනවා. මම තමයි දකුණු පළාත් සභාවට ප්‍රධාන පක්ෂයකින් තරග කරපු පළමුවැනි දෙමළ අපේක්ෂකයා. එදා මම තරඟ කරලා ජයග්‍රහණය න‍ොකළත් අපේ ජනතාවගේ ඡන්දවලට යම් වටිනාකමක් දෙන්න මට පුළුවන් වුණා.”

ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් 2013 වර්ෂයේ බද්දේගම ප්‍රාදේශීය සභාවට තරඟ කළ එම්. සෙල්වරාජ් ලංකා වතු කම්කරු සමිතියේ දිස්ත්‍රික් නියෝජිතයෙකි. ඔහු මෙසේ කියයි.

එම්.සෙල්වරාජ්

“හැම පැත්තෙන්ම වතුවල මිනිස්සු දුක් විඳිනවා. ඒ ගොල්ලන්ට තවම දැනෙන්නෙ නැහැ, මේ තත්වයට දේශපාලනය නැත්නම් දේශපාලකයො වගකියන්න ඕන කියල. ජන්ද කාලෙට බොහෝ තැන්වල අපේ අය පොඩි දේවල්වලට රැවටෙනවා.තමන් එක්ක වත්තෙ එකට ජීවත්වෙන කෙනෙක්, තමන් මුහුණදෙන ප්‍රශ්නවලට මුහුණ දෙන තමන්ගෙ කෙනෙක් මේ තැන්වලට යැව්වම, ප්‍රශ්න විසඳගන්න පහසුවක් කියන එක ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නැහැ.”

පළමුවරට කොට්ඨාස ක්‍රමය යටතේ පැවැති 2018 පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවට සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ දොරේසාමී ජෙයරාම් මෙසේ පවසයි.

දොරේසාමී ජෙයරාම්

“අපි හැමදාම රැවටීමට ලක්වෙනවා. මම සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් වුණා. අපේ තලංගහ කොට්ඨාසය දිනවන්න මම සෑම දෙමළ පවුලකටම කිව්වා පක්ෂයේ නායකයන් මාව සභාවට ගන්නවා කිව්වා ඒ නිසා ඡන්දයක් දෙන්න, දෙමළ ජනතා ප්‍රශ්නවලට මම සභිකයෙක් හැටියට මැදිහත් වෙනවා කියලා. නමුත් ඒක සිදුවුණේ නෑ. මම විතරක් නෙවෙයි ඡන්දය දීපු අපේ මිනිස්සුන්වත් රැවට්ටුවා.”

සමානුපාතික ක්‍රමය පැවතියේ නම් මැතිවරණයට ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට ඡන්දය දීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ පදිංචි ඕනෑම අයකුට අවස්ථාව තිබේ. නමුත් කොට්ඨාස ක්‍රමය අනුව එසේ කළ නොහැකි වීම පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයකු පත්කරගැනීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාව තවදුරටත් අහිමි කරන්නකි. කොටපොළ ප්‍රාදේශීය සභාවේ දෙමළ ජනතාව ඒකරාශී වී සිටින ආකාරයෙන් ගාල්ලේ ඒකරාශී නොවීම සහ ඔවුන් විවිධ ප්‍රදේශවල විසිරී සිටීමත් මේ ගැටලුවට හේතුවකි.

කෙසේ වෙතත් 2018 දී යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සමගාමී ලැයිස්තු අපේක්ෂක දොරේසාමී ජෙයරාම්ට මැතිිවරණයෙන් පසු අපේක්ෂකත්වය නොදී අතහැර දැමීම සිදු නොකර දෙමළ ජනතාව සිටින ප්‍රදේශවලට සමගාමී ලැයිස්තුවේ හෝ දෙමළ නියෝජනයක් ලබාදීම කෙරෙහි දේශපාලන පක්ෂ සහ වගකිව යුතු අයගේ අවධානය යොමුවිය යුතු කරුණකි.

කොටපොළ ප්‍රාදේශීය සභාවට නැවත තේරීපත් වූ කදිරේෂන් කන්නන් මෙසේ කීවේය.

කදිරේෂන් කන්නන්

 “ අපේ ජනතාව විවිධ පක්ෂවලට ඡන්දය දෙනවා. මෙවර මම කොට්ඨාසය ජයග්‍රහණය කරලා සභාවට පත්වුණා. අපි පසුගිය සභාවේ දී වතු ජනතාවගේ ප්‍රශ්න හැකිතාක් කතා කළා. යෝජනා ඉදිරිපත් කළා. සභාවේ දෙමළ මන්ත්‍රීවරුර තුන්දෙනෙක් හිටියා.  නමුත් අපි අපේක්ෂා කළ විදියට ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න බැරිවුණා. අඩුම ගණනේ දෙමළ මන්ත්‍රීවරු තිදෙනාගේ භාෂා අයිතියවත් ආරක්ෂා වුණේ නෑ. සභාවේ සියලු කටයුතු, ලිපි ගනුදෙනු, වාර්තා සැකසීම්, අයවැය වාර්තාව සැකසීම පවා සිදුවන්නේ සිංහල භාෂාවෙන්. අපිට දෙමළ පරිවර්ථනයක්වත් ලැබෙන්නේ නෑ. මේ වතුවල අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වුණත් සමගාමී ලැයිස්තුවල හිටියත් ඇතැම් දේශපාලන පක්ෂ ඒ ජනතාව‍ගේ අයිතිවාසිකම්වලට ගරු නොකිරීමේ ගැටලුව සහ විවිධ බලපෑම් නිසා ඔවුන්ට සභාව නියේාජනය කිරීමේ අවස්ථාව මඟහැරෙනවා.”

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජිත ඇලෙක්සැන්ඩර් සීමන් මහතා මෙසේ කීවේය.

ඇලෙක්සැන්ඩර් සීමන්

“වතු ජනතාවගේ ප්‍රශ්න අපි සභාවේ කතා කරපු නිසා ඇතැම් අවස්ථාවල දී නිලධාරීන්ගේ අවධානයට එ් කෙරෙහි යොමුවෙලා මාර්ග සංවර්ධන වගේ වැඩ අපිට කරන්න පුළුවන් වුණා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. වතුකර දෙමළ ජනතාවගේ නියෝජනය, කොටපොළ ප්‍රාදේශීය සභාවේත්, අනිකුත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රාදේශීය සභාවලත් වැඩි විය යුතුයි කියා මා විශ්වාස කරනවා. වතු ජනතාවගේ ඇතැම් ගැටලු සභාව භාරගන්නේ ඉතා සැහැල්ලුවෙන්.”

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන යත්‍රී පුවනේන්ද්‍රම් මහත්මිය පහතරට වතුකර දෙමළ ජනතාගේ දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් මෙසේ කීවාය.

“මේ ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවට තමන් වෙනුවෙන් දේශපාලන නායකත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ජනතාවක් ඉන්නවා. නමුත් ඔවුන් සංවිධානාත්මක නැහැ. විශේෂයෙන් ම පහතරට වතුකර දෙමළ ජනතාව අතරින් කාන්තාවක් ප්‍රාදේශීය සභාවට පත්කරන්න පුළුවන්නම් මේ ජනතාවගේ තිබෙන සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස ඇතුළු අනිකුත් යටිතල පහසුකම් සම්බන්ධයෙන්, අර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් හොඳ හඬක් නගන්න පුළුවන්. අවම වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් සමගාමී ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන කාන්තා නි‍යෝජනය සඳහා මේ ජන කොට්ඨාසයේ අයකුට හෝ අවස්ථාවක් ලබාගත හැකිනම් වඩාත් සුදුසුයි.”

ඇය පෙන්වා දෙන්නේ වතුකරයේ සිටින දෙමාපියන්ට තම දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ශක්තියක් නැති බැවින් දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වන බවයි. රජය ඒ ගැන කිසිම උනන්දුවක් නොමැති බවත් තීන්දු තීරණ ගන්නා ආයතන වෙත ප්‍රවේශවීමට මේ ජනතාවට නොහැකි වීම බරපතල ගැටලුවක් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සමාජ ක්‍රියාකාරිණියක් වන දෙණියායේ කේ.මධූෂා, පහතරට වතුකරයේ තරුණ පරපුරේ ගැටලු මෙන්ම කාන්තාවන් විශේෂයෙන් මුහුණපාන ගැටලු පිළිබඳ මෙසේ කීවාය.

කේ මධූෂා

“වතු ප්‍රදේශවල කාන්තාවන්ගේ මූලික ප්‍රශ්න කතා කරන්න කවුරුත් නෑ. ඔවුන් අනිත් ප්‍රදේශවල ජනතාවට වඩා විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. අධ්‍යාපනය අවසන් කරපු අයට රැකියා අවස්ථා නැහැ. වයස ගෙවිල යනවා. සෞඛ්‍ය ප්‍රශ්න වගේම සමාජ ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආශ්‍රිතවත් බරපතළ ප්‍රශ්න තියෙනවා. පේළි නිවාසවල ජීවත්වෙන තරුණ වයසේ අයට මුහුණ දෙන්න වෙන පීඩාවන් මෙහෙම කතා කරන්න බෑ. වතුවල දුක්විඳින අපේ අම්මලාගේ අත්තම සූරාකනවා. මේව සම්බන්ධයෙන් යම් හඬක් නගන්න වතුකරයේ කාන්තාවන්ට ඉඩක් නෑ. ඡන්දය ඉල්ලන්න ලැයිස්තුවට නම දැම්මත් පත්කරනකොට මේ අයට අවස්ථාව  දෙන්නෙ නෑ.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික පාඨ වලින් කියවෙන්නේ ලංකාව මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවයි. නමුත් වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් රටට ඩොලර් ගෙන ඒමට තේ ගස් යට ජීවිත දියකරන මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිගින් දිගටම අමු අමුවේ උල්ලංඝනය වන බව නොරහසකි. අතීතයේ සිටම මහ ජාතියේ කෙනෙහිලිකම් වලට ගොදුරු වූ රැවටිල්ලට ලක්වූ මේ සුළුතර ජනතාවට යුක්තිය තව බොහෝ දුරදැයි රට කරවන ඇත්තන්ගෙන් විමසිය යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles