ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වූ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ලබන 28 වැනි දා වැඩිදුර විභාග කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
හෙහ බෙක්මහ අස (22) අභියාචනාධිකරණයේ වැඩබබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව දැනුම් දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න කියා සිටියේ 2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධිත පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වැරදි සහගත ලෙස අර්ථකථනය කර තිබෙන බවයි. එසේ වුව ද ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සළකමින් වුව ද ඔවුන් එම ආයතනයේ සේවකයන් නොවන බවයි.
ක්‍රිකට් ක්‍රීඩකයන් සේවක අර්ථ සාධඛ අරමුදල් සහ වෙනත් දීමනාවලට හිමිකම් නොකියන බවත් හේතු නොවිමසා ඔවුන් ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සැළකීම නීතියට පටහැනි බවත් ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවේන පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන ස්වාධීන සේවා සපයන්නන් බවයි.
එසේ වුව ද ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි සේවකයන් ලෙස සළකමින් 2023 ජනවාරි 01 වැනි දා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. එමෙන් ම මේ ගැටලුව හේතුවෙන් 2024 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ද කුවේර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ ය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරෙන බව සඳහන් කළේය.
ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් හෙතෙම කියා සිටියේ ය.