ගාල්ල ජාතික රෝහල අයාලේ යන සුනඛයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර එහි වාට්ටුවල පවා ලේ උරාබොන කිනිතුල්ලන් දක්නට ලැබෙයි.
මෙම සුනඛයන් රෝහලට දැඩි ප්‍රශ්නයක් වී ඇති බවත්, රෝහලට පැමිණෙන රෝගීන් පවා සපාකන මෙම සුනඛයන් ඉවත්කිරීම ගැටලුවක් වී ඇති බවත් ගාල්ල ජාතික රෝහලේ අධයක්ෂ වෛද්‍ය රංග දිසාපතිගේ මහතා අප කළ විමසීමක දී කියා සිටියේය.
අප කළ සොයා බැලීමේ දී අනාවරණය වූයේ ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ සුනඛයන් 50-60ක් පමණ නිදැල්ලේ හැසිරෙන බවයි. එම සුනඛයන් රෝහලේ වාට්ටුවල, බාහිර රෝගී අංශයේ වෛද්‍ය ප්‍රතිකාර කාමරවල, වෛද්‍ය රසායනාගාරයේ, එන්නත් කාමරය සහ ඒ ඉදිරිපිට, ලේ බැංකුව අසළ, වකුගඩු ඒකකය ඉදිරිපිට, හෘද රෝග ඒකකයේ, දන්ත ශල්‍යාගාරය, අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ, ඖෂධ නිකුත්කරන ඔසු සැල්වල පමණක් නොව ප්‍රධාන හෙද නිලධාරී කාර්යාලයේ පවා සිටිති. මෙම සුනඛයන් රෝහලේ ඇතුළත බිම් මහළේ මෙන් ම උඩු මහළේ දී රෝගීන්ගේ සාමාන්‍ය දින චර්යාවට බාධා කරමින් සිටින අතර උඩුමහල්වල සිටින සුනඛයන් සිය බහිශ්‍රාවීය ද්‍රව්‍ය බැහැර කරන්නේ ද රෝහලේ කොරිඩෝවලට වීම විශේෂත්වයකි. රෝගීන්ට වාඩිවීමට ඇති පුටුවලට අරක්ගත් සුනඛයන් ද මේ රෝහල තුළ දක්නට ඇත.
එමෙන් ම අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ දොරට මුත්‍රා කරන සුනඛයන් ද සිටින බව රෝහල් සේවකයෝ ම කියති. රෝහලේ වාට්ටු කිහිපයක සුනඛයන් සහ බළලුන් නිසා බෝවන ලේ උරාබොන මැක්කන් සහ කිනිතුල්ලන් ද අපට නිරීක්ෂණය කළ හැකිවිය.
පසුගියා දා රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගත් විදේශිකයකු රජයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ගිය අවස්ථාවක දී රෝහලේ සිටින සුනඛයකුගේ සපාකෑමට ලක්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රංග දිසාපතිගේ මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ කීවේය.
“මේ සුනඛයන් අපිට හරිම වදයක් වෙලා තියෙන්නේ. හැමතැනම විෂබීජ. රෝහලේ ම සේවක සේවිකාවන් මේ සතුන්ට කෑම දෙනවා. ඔවුන් හුරතල් කරනවා. මේ රෝහලට එන රෝගීන් සපා කන අවස්ථා නිතර නිතර වාර්තා වෙනවා. සුනකයන් ඉවත්කිරීමේ වගකීම කවුරුවත් ගන්නේ නෑ. අපිට මේ සත්තු මරන්න බෑ. වෙන තැනකට ගෙනිහින් දාන්නත් අපිට හැකියාවක් නෑ. ඒකට වෙන පාර්ශව ඉන්නවා. ඒක ගැන රජය තීරණයක් ගන්න ඕනේ. නගර සභාවට මේ ගැන දැනුම් දුන්නා. කිසිම තීරණයක් නෑ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට කිව්වා. ඔවුන් කියන්නේ සුනඛයන් ගෙනිහින් දාන්න තැනක් නෑ කියලා. හබරාදුවේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයකට කතා කළා. ඒ අය සුනඛයන් සම්බන්ධයෙන් වැඩ කරනවා. එයාලත් මේකට විසඳුමක් දෙන්න බෑ කිව්වා. සුනඛයන් ඉවත්කරන කොට සත්ව ප්‍රේමීන් ඇවිත් ඒකට විරුද්ධ වෙනවා. අපිට ජලභීතිකා එන්නත් සඳහාම විශාල මුදලක් වැයකරන්න වෙලා. මේකට වහාම විසඳුමක් හොයන්න ඕනේ. මේ සුනඛයන් නිසා රෝගීන් දැඩි අපහසුතාවකට ලක්වෙනවා කියා අපි පිළිග්නවා. නමුත් විසඳුමක් නෑ. මේ සුනඛයන් වන්ධ්‍යාකරන සැත්කම්වලට භාජනය කරන්න ඇතැම් අය කටයුතු කළා. වන්ධ්‍යාකරණය කළත් රෝහල් පරිශ්‍රයකට සුනඛයන් අදාළ නෑ කියලා අපි පිළිගන්නවා. මොවුන් රෝහල ඇතුළේ මළ පහ පවා කරනවා. මේ සඳහා ඇත්තටම විසඳුමක් අවශ්‍යයි.”
රෝහලේ වාට්ටුවල කිනිතුල්ලන් සහ මැක්කන් සිටින බව සනාථ කළ හැකි ඡායාරූප පවා අප සතුව ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයාට කී විට ඔහු කීවේ මේ තත්වය ඉතාමත් අවාසනාවන්ත දෙයක් බවයි. රොහලේ කාර්ය මණ්ඩලය ද මෙයට වගකිව යුතු යැයි ද ඔහු පිළිගත්තේය.
සුනඛයන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ සම්බන්ධ වෙමින් ගාල්ල ජාතික රෝහලේ සුනඛයන්ට මෙන් ම කරාපිටිය නගරය අවට සුනඛයන්ටත් ආහාර පාන ලබාදෙන එක්තරා වෛද්‍යවරියක් මේ සුනඛයන් පිළිබඳ අප වාර්තාවක් සකස්කරන බව දැන අපට ඇමතුමක් ගත්තාය. ඇය කීවේ මෙවන් කතාවකි.
“ඔයාලා ඒ සත්තුන් මරවන්නද හදන්නේ. දන්නවා ද සතුන්ටත් අයිතිවාසිකම් තියෙනවා. මම ඔය බල්ලන් සියලු දෙනා එන්නත් කරලා තියෙන්නේ. සත්ව හිංසන පනත යටතේ මේ සතුන්ට කිසිම හිරිහැරයක් කරන්න ඔයාලට අයිතියක් නෑ. ඒ බල්ලෝ නිසා විෂබීජ පැතිරෙනවා කියලා ප්‍රචාරය කරන්න එපා. ඒක වැරදියි.”
අපි මාධ්‍යවේදීන් ලෙස ඇයගෙන් ප්‍රශ්න කෙළමු. එම සුනඛයන් එන්නත් කළා යැයි ඇය කීව ද ඒ බව සනාථ කිරීඹට ඇයට කිසිදු සාක්ෂියක් තිබුණේ නැත. එමෙන් ම එම සුනඛයන් සෝදා පිරිසිදු කරන්නේ නැතැයි ද ඇය පිළිගත්තාය. සුනඛයන්ට වඳ සැත්කම් කළ පමණින් විෂබීජ බෝ නොවනවායැයි සහතිකයක් දිය හැකිදැයි ඇගෙන් විමසූ විට ඇය කියා සිටියේ තවදුරටත් ඔවුන්ගෙන් පැටවුන් බෝ නොවන බවයි. රෝහලේ සිටින සුනඛයන් නිසා විෂබීජ බෝ වනවායැයි ප්‍රචාරය කරන්නට එපා යැයි ඇය කීව ද එසේ විෂබීජ පැතිරෙන්නේ නැතැයි සහතිකයක් දීමට ද ඇය අපොසත්වූවාය. අපි ඇයගේ සත්ව කරුණාව අගය කරන්නෙමු. නමුත් රෝගීන් බිල්ලට දී සුනඛයන් වෙනුවෙන් පෙනී සිටින ඇය පවසන සත්ව හිංසාව පිළිබඳ පනත තවමත් සම්මත වී නැත. සම්මත වීමට නියමිත පනතේ ද සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් නීති රෙගුලාසි ඇත්තේ ගෘහස්ථ සුනඛයන් සම්බන්ධයෙන් මිස රෝහල්වල අයාලේ යන සුනඛයන් සම්බන්ධයෙන් නොවන බව ඇය දැන සිටියේ ද නැත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් මේ පිළිබඳ අපි විමසූ විට ඔහු මෙසේ කීවේය.
“මේක ඉතාමත් භයානක තත්වයක්. ජලභීතිකා මර්ධනය කරන මානව එන්නතටත්, සතුන්ට ලබාදෙන ජලභීතිකා එන්නතටත් සතුන් වන්ධ්‍යාකරණ කටයුතුවලටත් අවුරුද්දකට කෝටි ගණනක් වෙන්කරන්න වෙලා තියෙනවා. රෝහල්වල සුනඛයන් නොසිටිය යුතුයි. මේ ගැන අපි වහාම සොයා බලා විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා. ගාල්ල ජාතික රෝහලේ විතරක් නෙවෙයි, කිසිම රෝහලක, වෛධ්‍ය මධ්‍යස්ථානයක සුනඛයන්ට සහ පූසන්ට ඉඩක් නැහැ. සත්ව රෝහලක ඒ අය හිටියාට ගැටලුවක් නෑ. අධ්‍යක්ෂවරයාට මේ ගැන දැනුම් දී වහාම පියවර ගැනීමට කටයුතු කරනවා.”
ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රෙගුලාසි අනුව සියලු සුනඛයන් පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුය. යම් සුනඛයකු ලියාපදිංචි කර නැතිනම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ඇත්තේ පළාත් පාලන ආයතනවලටය. හිමිකරුවකු නැති සුනඛයකු අයාලේ යන සුනඛයෙකි. තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය අනුව මෙවැනි පරිශ්‍රයක සිටින සුනඛයන් ඉවත් කිරීම රජයේ වගකීමයි. එය පළාත් පාලන ආයතන විෂය පථයට ඇතුළත්ය.








