GovPay භාවිතා කරමින් ඔන්ලයින් ක්‍රමයට රථවාහන දඩ මුදල් ගෙවීමට හැකි වන නියමු ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
මෙම නියමු ව්‍යාපෘතියට කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ වන බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ කීවේය. නුදුරු අනාගතයේ දී මෙම ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “GovPay භාවිතයෙන් දඩ මුදල් ගෙවන ආකාරය පැහැදිළි කරන පහසුවෙන් අනුගමනය කළ හැකි පත්‍රිකාවක් අපි නිර්මාණය කර තිබෙනවා. රථවාහන දඩයක් නිකුත් කරන විට, දඩ දැන්වීම සමඟ මෙම පත්‍රිකාව භාර දෙනවා. අන්තර්ජාල බැංකු ද්වාරයක් හෝ ඔබගේ ජංගම බැංකු යෙදුම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා ගෙවීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ පියවරෙන් පියවර අවශ්‍ය උපදෙස් එහි සඳහන් කර තිබෙනවා.”
ඔබ GovPay විකල්පය තෝරා ලැයිස්තුගත ආයතන යටතේ ‘ශ්‍රී ලංකා පොලිසිය’ තෝරාගෙන ‘රථවාහන දඩය’ තෝරාගත් විට, ඩිජිටල් පෝරමයක් පෙන්වනවා. ඔබේ වාහන අංකය, රියදුරු බලපත්‍ර අංකය, පත්‍රිකාවේ යොමු අංකය සහ නිශ්චිත වරද වැනි විස්තර ඇතුළත් කිරීමට තිබෙනවා. ක්‍රියාවලිය සරල කිරීම සඳහා මෙම ක්ෂේත්‍ර ලැයිස්තුවක් ලෙස ලබා ගත හැකිය.
පොලිසියෙන් කර ඇති ඉල්ලීමක් අනුව එකවර දඩ මුදල් කිහිපයක් ගෙවීමට ඉඩ ලැබෙන පරිදි මෙය වැඩිදියුණු කර ඇති බව ද ඔහු කීවේය. යම් පුද්ගලයකුට දඩ දෙකක් හෝ වැඩි ගණනක් ලැබී ඇත්නම් ඒ සියල්ල තෝරාගත හැකි අතර මුළු මුදලං ස්වයංක්‍රීයව ගණනය වෙයි.
මෙම පද්ධතිය සඳහා සම්බන්ධ වන සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථනයක් සවි කර ඇත. ගෙවීම සිදු කළ වහාම විද්‍යුත් රිසිට්පතක් නිකුත් කරනු ලබන අතර, අදාළ පොලිස් නිලධාරියාට GovPay කෙටි කේතය හරහා කෙටි පණිවුඩ තහවුරු කිරීමක් ලැබේ. මෙම පණිවිඩයේ අවශ්‍ය සියලු විස්තර ඇතුළත් වේ. ඉන්පසු, රියදුරුට තවදුරටත් ප්‍රමාදයකින් තොරව තම බලපත්‍රය ලබා ගත හැකියි.
මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රථවාහන දඩ ගෙවීම්වල පහසුව වැඩි දියුණු කිරීම, ප්‍රමාදයන් අඩු කිරීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමයි.