ශ්‍රී ලංකාවේ ජනගහනය 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව 21,763,170ක් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය අඩුවෙමින් පැවතිය ද 2012 වර්ෂයට සාපේක්ෂව මෙරට ජනගහනය 1,403,731කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව 2024 වසරේදී සිදුකළ සංගණනයේදී මෙරට ජනගහනය 21,763,170ක් බවට වාර්තා වී තිබේ.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට වැඩිම ජනගහනයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2,433,685කි. ජනගනය වැඩිම දිස්ත්‍රික්ක අතරින් දෙවැනි තැනට කොළඹ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එය සංඛ්‍යාත්මක ව 2,374,461කි. කුරුණෑගල 1,760,829, මහනුවර 1,461,269, කළුතර 1,305,552, රත්නපුර 1,145,138 සහ ගාල්ල 1,096,585 වැඩිම ජනගහනයක් සහිත අනෙකුත් දිස්ත්‍රික්ක වෙයි.
මෙරට ජනගහනය අඩුම දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයයි. එහි පුද්ගලයන් 122,542 ජීවත්වන අතර මන්නාරම දිස්ත්‍රික්කය 123,674ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කය 136,434ක් සහ වවුනියා දිස්ත්‍රික්කයේ 172,257ක් ලෙසද වාර්තා වී ඇත.
ඒ අනුව මිලියන 02කට වැඩි පිරිසක් බැගින් ජීවත්වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සමඟ මෙරට වැඩිම ජනගහනයක් ජීවත්වන පළාත වන්නේ බස්නාහිර පළාත වන අතර රටේ සමස්ත ජනගහනයෙන් 28.1%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. අඩුම ජනගහනය වාර්තා වන්නේ උතුරු පළාතෙනි. එය රටේ සමස්ත ජනගහනයෙන් 5.3%කි.
ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙවර වැඩිම ජනගහන වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් ලෙස හඳුනානෙ ඇත. අවම වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001කි.
ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය වන්නේ පෙර සංගණන වල දී මෙන් ම මෙවර ද කොළඹ දිස්ත්‍රික්කයයි. කොළඹ දිස්ත්‍රික්කයේ වර්ග කිලෝ මීටරයකට පුද්ගලයන් 3,549ක් ජීවත් වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වර්ග කිලෝ මීටරයකට පුද්ලයන් 50ක් පමණක් වාර්තා වන බැවින් අඩුම ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයයි.