විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී 99%කින් පහළ වැටී ඇතැයි මූල්‍ය වාර්තා අනුව තහවරු වෙයි.
විකුණුම් පිරිවැය ඉහළ යාම සහ ආදායම පහළ වැටීම මේ තරම් විශාල කඩා වැටීමකට හේතු වී ඇත.
2024 දෙසැම්බර් 31න් අවසන් වූ අවසන් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 111.8ක් ලෙස වාරතා වෙයි. 2023 වර්ෂයේ එම කාර්තුවේ ආදායම රුපියල්බිලියන 156.25කි. ඒ අනුව 2024 වර්ෂයේ අවසන් කාර්තුවේ ආදායම ඊට පෙර සමාලෝචිත කාලයට සාපේක්ෂව 28%කින් පහළ වැටී ඇත.
මේ අතර විදුලි බල මණ්ඩලයේ 2024 වර්ෂයේ අවසන් කාර්තුවේ විකුණුම් පිරිවැය රුපියල් 116.29කි. 2023 වර්ෂයේ දී එය රුපියල් බිලියන 78.03ක් වූ බැවින් මෙවර එය 49%කින් ඉහළ ගොස් ඇත.
2023 වර්ෂයේ අවසන් කාර්තුවේ රුපියල් බිලියන 78.22ක් ලෙසින් සටහන්ව තිබූ ලංකා විදුලි බල මණ්ඩලයේ දළ ලාභය පසුගිය කාර්තුව තුළ දී රුපියල් බිලියන 4.49ක දළ අලාභයක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අවසන් කාර්තුවේ දී රුපියල් බිලියවයන 3.04ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට සිදුව තිබේ. 2
023 දෙසැම්බර් කාර්තුවේ දී රුපියල් බිලියන 91.97ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට මණ්ඩලය සමත්ව තිබුණි.
කෙසේවෙතත් මූල්‍ය ආදායම් සහ පිරිවැය ගැළපීමෙන් පසු විදුලිබල මණ්ඩලය 2024 දෙසැම්බර් කාර්තුව තුළ දී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 603ක් වශයෙන් සටහන්ව ඇත. මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රුපියල් බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමකි.
මේ අතර සමස්තයක් ලෙස 2024 වසර සැලකීමේ දී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 144.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ අගය වූ රුපියල් බිලියන 57.63ට වඩා 151%ක දැවැන්ත වර්ධනයකි.
පසුගිය 2024 වසරේ මුල් කාර්තුවල දී අවස්ථා කිහිපයක දී සිදුකරන ලද විදුලි මිල සංශෝධනයන් හරහා මණ්ඩලයේ ආදායම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.