spot_img
spot_imgspot_img

දරුකමට අරන්, දරුවකු මරා දැමුවා යැයි යුවළකට මරණ දඬුවම්

පුවත්

විදෙස්

දරුකමට හදාගත් දරුවකු කෲර වධ හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශාංක අද (06) මරණීය දණ්ඩනය නියම කළේය.

2018 වර්ෂයේ මැයි මස 11 වැනි දා මියගිය කුඩා දරුවකු මරණ පරීක්ෂණයකින් තොරව කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී භූමදාන කිරීමට සැරසෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිසිය දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ දී ම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබිණි.

ඒ අනුව ‍හදාවඩා ගැනීමට ගත් දරුවා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් එම යුවළට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ එම දරුවා දරුණු ලෙස වධ හිංසනයට ලක් වී ඇති බවයි.

දරුවාගේ දේහයේ පිළිස්සුම් සහ තැලීම් තුවාල 90ක් පමණ තිබී ඇති අතර දරුවාගේ වෘෂණ කෝෂවලට ද දැඩි ලෙස හානි වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබී ඇත.

මෙම දරුවා චේතනාන්විතව ප්‍රචණ්ඩත්වයට සහ  කෲර වද හිංසනයට ලක් වීම නිසා ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් තහවරු කර ඇතැයි විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

එමෙන් ම මේ දරුවා මිය යාමට පෙර කොළඹ ළමා රෝහල ආසන්නයට ම ගෙන ගොස් එහි ඇතුළත් නොකර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තහවරු වී ඇති බව ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය.

මියගිය දරුවා මෙම විත්තිකරුවන් දෙදෙනා විසින් හදා වඩා ගැනීමට‍ෙ යැයි කියා රැගෙන තම භාරයේ තියාගත් බවට ද ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

ඉදිරිපත් වූ පර්වේෂණීය හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බව සැකයකින් තොරව සනාථ වී ඇතැයි ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ලැබුණු අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ තමන් මේ චෝදනාවලට නිවැරදිකරුවන් බවයි.

එමෙන් ම තමන් තවත් දරුවන් දෙදෙනකුගේ මවක් බවත් මේ දරුවා හදා ගැනීමට ගත්තේ තම කැමැත්තෙන් බවත් විත්තිකාරිය අධිකරණය හමුවේ කියා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ විනිසුරුවරයා දරුවාගේ මරණය සිදුකළැයි යන චෝදනාවට එම දරුවා හදාවඩා ගත් යුවළ වරදකරුවන් කරමින් මරණ දඬුවම තීන්දු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!