-0.6 C
New York

මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණයේ විමර්ශන CID භාරයට

Published:

මාධ්‍යවේදිනියකගේ සැමියා අභිරහස් ලෙස මරණයට පත්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය නියෝග කළාය.

ඒ අනුව මාර්තු මස 18 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කර ඇත.

මියගොස් ඇත්තේ දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි අගොස්තිනුගේ සමරජීව නමැති අයෙකි.

සිය සැමියා ජනවාරි මස 01 වැනි දා රැකියාවට පිටත්ව ගෙස් නැවත නිවස කරා පැමිණියේ නැතැයි ද ඒ පිළිබඳ සොයා බැලීමේ දී ඊට පසු දින එනම් ජනවාරි 02 වැනි දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් තුවාල සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටිය දී සොයාගත් බව මාධ්‍යවේදිනිය පොලිසියට දැනුම් දී තිබිණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජනවාරි මස 03 වැනි දින මියගියේ ය.

ඔහු දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකගේ නිවසක වැටී සිටින බව නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියා විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබිණි.

එම දුරකථන ඇමතුම අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එදින රාත්‍රී 11.00ට පමණ  නීතිඥවරියගේ නිවසට ගොස් පරීක්ෂා කර තුවාලකරු රෝහලට ඇතුළු කිරීමට කටයුතු නොකර තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්දවීමට කටයුතු කර තිබීම සැකයට  හේතුවක් බව මියගිය තැනැත්තාගේ පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ කියා සිටියේ ය. එම නීතිඥවරයා සඳහන් කළේ මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය නිස විමර්ශනයක් කර නැති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් බවයි. මෙම මරණය සම්බන්ධයේන දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව පවසමින් මරණය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට මහේස්ත්‍රාත්වරිය තීරණනය කළාය.

එම නඩුව නැවත මාර්තු 18 වැනි දින කැඳවීමට නියමිතය.

Related articles

Recent articles

spot_img