අන් සියලු සතුන් පරයා පරිනාමීය ව දියුණු වූ මිනිසා දැවැන්ත යාන වාහන නිපදවා මේ වනාන්තරයේ සීමා මායිම් සියල්ල උල්ලංඝනය කර ඇතැයි ඔවුන් දන්නේ නෑ.
මහා රාත්‍රියේ තම සඟයන් සමඟ හිතූ හිතූ පරිදි වනයේ ඔබ මොබ යන දැවැන්ත හස්ථි රාජයන්ට වෙනත් විලෝපිකයන්ගෙන් තර්ජනයක් නැත.
තම වන බිම් හරහා මිනිසුන්ගේ දැවැන්ත නිර්මාණ තමන් යට කරමින් අධික වේගයෙන් ගමන් ගන්නා බවක් තේරුම්ගත නොහැකි මේ අහිංසක සතුන් කුමක් කරන්න ද ?
මහා රාත්‍රියේ විදුලි ආලෝකයක් දලවාගෙන හූ හඬ තලමින් එන දැවන්ත යකඩ ගොඩකින් ගැලවෙන්නට අහිංසක අලි ඇතුන්ට පරිනාමිකව කිසිම සංවේදනයක් උරුම වී නැත.
පසුගිය වර්ෂ කිහිපයක දී අලි ඇතුන් 200කට වැඩි පිරිසක් දුම්රියට බිලි වී මෙළොව හැර ගියේ ඒ නිසාය.
නමුත් දියුණු මනසක් සහ තාක්ෂණයක් උරුමකරගෙන සිටින මිනිසුන් ඊට විසඳුම් සෙවිය යුතුය.
අලි ඇතුන් දුම්රියේ ගැටී මියයාමේ ගැටලුවට විසඳුම් සෙවීම, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගැටලුවට සහ දුම්රිය පමාවීමට විසඳුම් සෙවීම සඳහා ජාතික නවෝත්පාදක ඒජන්සියෙන් (NIA – National Innovation Agency) සංවිධානය කළ රැස්වීමක් පසුගිය 2024 වර්ෂයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි. එවකට ජනාධිපති අතිිරේක ලේකම් චාන්දනී විජේවර්ධන සහ රෝෂිණී පීරිස් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී අදාල අමාත්‍යාංශ ලේකම්වරු, පේරාදෙණිය මොරටුව කොළඹ විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු, වනජීවී නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ (ඉංජිනේරු අංශවල) නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීහු ද සහභාගී වී සිටියහ.
එම ගැටලු සඳහා ඉහළම විද්‍යාත්මක හා තාක්ෂණික යෝජනා කිහිපයක් ම ඉදිරිපත් වූ අතර එම විසඳුම්වලින් ඇතැම් ඒවා ඒ වනවිටත් අත්හදා බලා සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබීම විශේෂත්වයකි. ඒ බොහෝ විසඳුම් ශ්‍රී ලංකාවට පහසුවෙන් දැරිය හැකි අඩුවියදම් වීම ද මෙිහි දී අවාධානයට ලක් වූ ප්‍රධාන කරුණක් විය.
ඒ සෑම විසඳුමක ම අත්‍යාවශ්‍ය කරුණක් වූයේ දුම්රිය එන්ජිමේ GPS තිබීමයි. එම අවශ්‍යතාව මතුවීමත් සමඟ එහි සිටි තාක්ෂණ විශේෂඥයන් සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර ඇති වූ සංවාදයේ දී අනාවරණය වූයේ සෑම දුම්රියක ම ඒ වනවිටත් GSP උපකරණ සවිකර තිබෙන බවයි.
නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කීවේ ඒවා වැඩ නොකරන බවකි. වැඩ නොකිරීමට හේතු ඇසූ විට එම උපකරණවල කිසිදු දෝෂයක් නැත. වෙනත් විශේෂඥයකු අනාවරණය කළේ දුම්රිය රියදුරන් මේ උපකරණ භාවිතා කිරීමට අකමැති බැවින්, දුම්රිය එන්ජින්වල සවිකර ඇති GSP පද්ධති ක්‍රියාවිරහිත කර ඇති බවකි.
මේ අනාරවණයත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු නිරුත්තර වූහ. ඔවුන් කිසිවක් කීවේ නැත.
දුම්රිය රියදුරන්‍ගේ ආකල්ප, වෘත්තීය සමිති ආකල්ප වෙනස් කරනකම් මේ කිසිම තාක්ෂණයක් භාවිතා කරන්න බැහැ.”
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට කියන්නට කිසිවක් නැත. කෝටි ගණනක් මහජන මුදල් වියදම් කර සෑම දුම්රියක ම GPS උපකරණ ඇතුළු තාක්ෂණික උපකරණ කොතෙක් සවිකර තිබුණ ද වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් ඒවා අඩපණ වී ඇත.
ප්‍රශ්නයට පිළිතුරු සෙවීම අවසන් වන්නේ එතැනිනි.
මේ පිළිබඳ සොයා බැලීමේ දී තවත් බොහෝ කරුණු අනාවරණය වෙයි.
දුම්රිය සඳහා දුරකථන පහසුකම් ලබාදීමේ අරමුණින් සෑම දුම්රියක ම GPS පහසුකම් සහිත Cab Radio සවිකර තිබේ. ඒ දශක කිහිපයක් තිස්සේ එවැනි සන්නිවේදන ක්‍රමයක් අවශ්‍යයැයි කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිනි. නමුත් මේ වනවිට එම උපකරණ පවා දුම්රිය රියදුරන් සහ වෘත්තීය සමිති විසින් භාවිතයෙන් ඉවත්කර තිබේ.
GPS enabled LTE device දුම්රිය සඳහා සවිකිරීමේ ව්‍යාපෘතියක් ද ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කළ අතර ඒ වෙනුවෙන් දුරකථන සමාගම ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග අවට අලුතින් සන්නිවේදන කුළුණු 200ක් ද සවිකර තිබිණි. එම පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක කළේ නම් ශ්‍රී ලංකාවේ සෑම දුම්රියක් ම සම්පූර්ණ ධාවන කාලයේ දී ම නිරීක්ෂණය කළ හැකිවන අතර දුම්රියේ අනවශ්‍ය ප්‍රමාදවීම් සහ අනතුරු විශාල ප්‍රමාණයක් වළක්වා ගැනීමට ද හැකියාව ලැබෙයි.
රුපියල් මිලියන ගණන් වැය කර එවැනි තාක්ෂණික උපකරණ දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණ ද දුම්රිය රියදුරන් ගමන් ආරම්භ කරන්නේ එම පද්ධති ක්‍රියාත්මක කර නොවේ. ඒ නිසා එම තාක්ෂණික පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. ඒ සඳහා කළ මිලියන ගණනක ආයෝජනය ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට ගන්නේ නැත.
තාක්ෂණය එසේ ප්‍රයෝජනයට නොගන්නා තත්වයක් තුළ බලධාාරීන් දුම්රියේ අලි ගැටීම වැළැක්වීම සඳහා ලබාදෙන්න උත්සාහ ගන්නේ ද ප්‍රායෝගික විසඳුම් නොවේ.
2024 පෙබරවාරි මාසයේ දී වන අලි දුම්රියේ ගැටීම වැළ්කවීම සඳහා ඔවුන් ගමන් ගන්නා ස්ථානවල දුම්රිය මාර්ගයට යටින් උමං හාරන්න යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.
නමුත් වන අලියකු එවැනි කෘතිම උමඟක් භාවිතා කර දුම්රියේ නොගැටී යනු ඇතැයි කාටනම් කිව හැකි ද ? අලි ගම්වැදීම වැළැක්වීම සඳහා අලි වැට කොතෙක් ඉදිකළ ද එය ද ප්‍රායෝගික නොවන තත්වයක් තුළ මහා වනය මැදින් යන දුම්රිය මාර්ගය හරහා නොගොස් උමගිකින් යන්න යැයි අලින් දක්කන්නට දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නන් දුම්රිය මාර්ගය දෙපස රැකවල්ලා සිටී ද ?
මේ යෝජනාව ඉදිරිපත් කිරීමේ දී අලි ඇතුන් පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විමසා තිබුණේ නැත. ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ සුරකිමු දුම්රිය ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක් එකතු වී මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම කටයුතු කර තිබිණි. අවම වශයෙන් මේ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ අදහස් විමසා නොතිබීම විතියට කරුණකි.
ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් මේ ගැටලුව විසඳීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ මැදිහත් වීමෙන් සාකච්ඡා පවත්වා සැළසුම් සකස් කරද්දී අලි බේරාගැනීමට කෘතිම උමං ව්‍යාපෘතිය කඩිමුඩියේ ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව, ඒ පිළිබඳ විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමේ සාකච්ඡාව යොදාගෙන තිබූ 2024 මාර්තු 01. කෘතිම උමගට මුල්ගල් තැබිණි
අවසානයේ දී සිදුවූයේ අඩු වියදම්,දියුණු තාක්ෂණික විසඳුම් තිබිය දී දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රායෝගික නොවන විසඳුම් ක්‍රියාත්මක කිරීමට උනන්දු වන බවට එය හොඳම උදාහරණනයකි.
ජාතික නව්‍යකරණ නිියෝජිතායතනය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලිලන්ත සමරනායක යෝජනා කර ඇත්තේ වඩාත් ප්‍රායෝගික සහ වඩාත් දියුණු තාක්ෂණික ක්‍රමයකි.

බොහෝ විට දුම්රියේ අලි ගැටීම් සිදවන්නේ රාත්‍රී සහ අලුයම් කාලයේ දී ය. අලියා පරිනාමකිව වනාන්තරයේ ම වර්ණය ගන්නා බැවින් රාත්‍රී කාලයේ දැඩි ආලෝකයක් තිබුණ ද අලි හඳුනාගැනීම පහසු දෙයක් නොවේ. දුම්රියේ ආලෝක ධාරාවෙන් මාර්ගයේ සිටින අලියකු හඳුනාගත්ත ද හඳුනාගත හැකි කෙටි දුර සහ දුම්රියේ වේගය අනුව රියදුරකුට අලියා දුම්රියේ ගැටීම වළක්වා ගැනීම ඉතාමත් අසීරු කරුණකි. මේ නිසා දුම්රිය එන විට දුම්රිය මාර්ගයේ සිටින අලි මරුමුවට පත්වීම අරුමයක් නොවේ.
මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා නිර්මාණය කළ උපකරණයෙන් මේ ගැටලුව විසඳා ඇත. ඔහු ඒ ගැන මෙසේ කීවේය.
“මේ උපකරණයේ තියෙන්නේ ඉන්ෆාරෙඩ් ලයිට් එකක්. එහි කැමරාවක් තියෙනවා. ඉන් ඈත තියෙන වස්තුවක් ඡායාරූපයට නැගෙනවා. මේ උපකරණය ලබාදෙන ඡායාරූපය මගින් අලියකු හෝ වෙනත් ඕනෑම වස්තුවක් ඡායාරූපයට නැගෙන නිසා අපිට ඔවුන් දුරතියා හඳුනාගන්න පුළුවන්. මෙය මීටර 500ක් දුරට සාර්ථකයි. මේක නිපදවන්නේ කෘතිම බුද්ධිය (AI) පාවිච්චි කරලා. තරමක් අපහැදිලි ඡායාරූපයක් වුවත් අලියෙක්, හරකෙක් පමණක් නෙවෙයි මාර්ගයේ ඉන්න පුද්ගලයෙක් පවා දුරතියා හඳුනාගත හැකියි. එවිට දුම්රිය රියදුරන්ට හැකියාව තියෙනවා අලියෙක් මාර්ගයේ ඉන්නවානම් දුරතිය හඳුනාගෙන තහවරු කරගෙන දුම්රිය නවත්වාගන්න. මේ ක්‍රමයට අලි දුම්රියේ ගැටීම් නවත්වන්න පුළුවන්.”
මහාචාර්යවරයා මේ උපකරණය නිර්මාණය කර තිබෙන්නේ කැමරාව සහ අනිකුත් උපකරණ අමතර කොටස් ශ්‍රී ලංකාවට ආනයනය කර සුදුසු ආකාරයෙන් ඒවා එකලස් කිරීමෙනි. 2021 වර්ෂයේ දී ඔහු මේ උපකරණ පද්ධතිය නිපදවා තිබේ.
මේ එක පද්ධතියක් හදන්න වියදම් වන්නේ රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකි. කොළම අම්පාර මාර්ගයේ අලි වැඩිිපුරම ගැටීම් සිදුවන්නේ රාත්‍රී සහ අලුයම ධාවනය වන දුම්රියවල බැවින් මේ අනතුරු වළක්වා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ එම උපකරණ 04ක් පමණි. ඒවා දුම්රිය දෙකක සවිකළ යුතුය.
“අපි මේ උඵකරණ 2021 වර්ෂයේ දී අත්හදා බැලුවා. මේකට කෘතිම බුද්ධිය යොදාගන්නා නිසා අපිට GPS පහසුකම අවශ්‍යයි. මීටර 500ක දුරක දී අලියා හඳුනාගත හැකි නිසා දුම්රිය රියදුරාට අනතුර වළක්වාගැනීම ඉතාමත් පහසුයි. ඉන්දියාවේ මේ වගේ දේවල් අතහදා බලලා සාර්ථක වෙලා තියෙනවා.” මහාචාර්ය සමරනායක මහතා වැඩිදුරටත් කීවේය.
2021 වර්ෂයේ දී මේ පද්ධතිය පළමුවරට අත්හදා බලා තිබේ. ඒ දුම්රිය මාර්ගයේ දෙපස සවිකිරීමෙනි. නමුත් එම උඵකරණවලට ආරක්ෂාව ලබා දිය නොහැකි බව පවසමින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් වැළකී ඇත. ඉන්පසු මේ උපකරණ දුම්රියේ සවිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පවසා ඇත්තේ දුම්රියේ ඉදිරිපස කැමරාවක්
මහාචාර්යවරයා පවසන්නේ මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නම් තවත් වැඩිදියුණු කළ හැකි බවයි. එම පද්ධතීන් දිනෙන් දින දියුණ කර වඩාත් සංවේදී සහ කඩිනමින් ප්‍රතිචාර ලබාගත හැකි ආකාරයෙන් සකස් කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
අලි දුම්රියේ ගැටීමෙන් වාර්ෂිකව සිදුවන පාඩුව කෝටි ගණනකි. දුම්රිය මාර්ගය යළි සැකසීමේ දී සිදුවන පාඩුව, දුම්රිය එන්ජින්වලට සහ මැදිරිවලට සිදුවන පාඩුව ගණන් බලා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැකි වුව ද මේ අනතුරුවලින් දුම්රිය ප්‍රමාදයෙන් සිදුවන පාඩුව ද ගණනය කළ නොහැක. ශ්‍රී ලංකාවට ආවේණික අහිංසක සතුන් අකාලයේ මිය යාමේ ඛේදවාචකය කිසිදා මිළ කළ නොහැකිය.
නමුත් දැන් ඉදිරිපත් වී ඇත්තේ විද්‍යාත්මක විසඳුමකි. ගැටලුව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වුවමනාවයි. ඒ සඳහා වෘත්තීය සමිතිවල වුවමනාවට තාක්ෂණය පසෙක දැමීමට ඉඩ නොදී වඩාත් විද්‍යාත්මක ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජය සතුය.
දුම්රිය මාර්ග හරහා කෘතිම උමං හාරා අලින් ඒ තුළින් යැවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලට භාර දුන්නත් ඒ කාර්යයවත් හරියට ඉටු නොවනු ඇත.
අවශ්‍ය වන්නේ මේ ගැටලුව නිසි පරිදි හඳුනාගෙන එයට සැබෑ විසඳුම් සෙවීම සඳහා දුම්රිය දෙපාර්තමෙව්න්තුව උනන්දු වීමයි.
