ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අනුමැතිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද ගැලප් ශෛලියේ “රට හිතන හැටි” ජනමත විමසුමෙන් අනාවරණය වී ඇත.
2024 ජූලි මාසයේ දී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 24%ක් වූ අතර මේ වනවිට එය 62%ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට මෙරට ජනගහණයෙන් බහුතරයක් හෙවත් 55%ක් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බවයි. නමුත් 2024 ජූලි මාසයේ පැවැත්වූ ජන මත විමසුමේ දී එම ප්‍රතිශතය 71%ක් විය. මේ වනවිට එම ප්‍රමාණය ද පහත වැටී තිබීම විශේෂත්වයකි.
සමස්තයක් වශයෙන් ගත් විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

- ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය
අනුමත කරනවා – 62%
අනුමත කරන්නේ නැහැ – 16%
වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුමත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරනවා යන පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩි අගයකි.
ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසූයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බවට කියූ 60%ක ප්‍රතිශතය හා ගත් විට කැපී පෙනෙන අඩුවීමකි.
2. ආර්ථිකයේ ඉදිරි දැක්ම
හොඳ අතට හැරෙමින් පවතී – 55%
නරක අතට හැරෙමින් පවතී – 14%
රටේ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස හොඳ අතට හැරෙමින් පවතිනවා ද, නැතිනම් නරක අතට හැරෙමින් පවතිනවා ද, යන පැනයට පිළිතුරු දුන් ජනතාවගෙන් 55%ක්ම කියා සිටියේ ආර්ථික තත්ත්වයන් හොඳ අතට හැරෙමින් පවතින බව යි. 2024 ජූලි මාසයේ මෙම අගය 30%ක් විය. ආර්ථික තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බව කියා සිටියේ 14%ක් පමණි. එය, ගියවර තිබුණු 65%ක අගයෙන් සීඝ්‍ර පහළ යාමකි.
3. ආර්ථික තත්ත්වය
හොඳ හෝ විශිෂ්ටයි 35%
දුර්වලයි 47%
රටේ ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ දුර්වල ලෙස ශ්‍රේණිගත කරන්නැයි උපදෙස් දුන් විට 35%ක් ඒවා රටේ ආර්ථික තත්වය විශිෂ්ට හෝ හොඳ යටතේ ශ්‍රේණිගත කළේ ය. මෙය 2024 ජූලි මස වාර්තා වූ 28%ක අගයට වඩා වැඩි අගයකි.
ඒ අතරවාරයේ 47%ක් රටේ ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කළේ ‘දුර්වල’ යටතේ ය. අවසානයට කළ සමීක්ෂණයේ දී, මෙම අගය 71%ක් විය. එනම්, මෙදා ප්‍රතිඵලය එදාට වඩා අගයන් 24 කින් අඩුය.
ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම
‘රට හිතන හැටි ‘ ජනමත විමසුම වෙරිටේ රිසච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදු කරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමතවිමසුම් සිදු කිරීම් වැඩසටහනේ කොටසක් වේ. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමි වේ.
මෙම නවතම සමීක්ෂණය, බහු – අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,050 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2025 ජනවාරි 31 ක සිට 2025 පෙබරවාරි මස 5 දක්වා කාලය තුළ සිදු කර ඇත.
සමීක්ෂණ නියැදිය සහ ක්‍රම වේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.0% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.