ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය.
එහි දී ඔහු කියා සිටියේ ආරක්ෂාව සඳහා අනතුරුදායක විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ජාතිවාදී මෙන්ම අන්තවාදී ප්‍රවණතා රටේ සාමාන්‍ය නීතිය අනුව විසඳීමට නොහැකිනම් ඒ සඳහා නව නීති සකස් කරන බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අවශ්‍ය කමිටුවක් මේ වනවිටත් ස්ථාපිත කර ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි දීර්ඝ කාලයක් දේශපාලන රැකවරණය යටතේ මේ රටේ නිදැල්ලේ ක්‍රියාත්මක වන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාතිවාදය, අන්තවාදය යළි කිසි දිනෙක ශ්‍රී ලංකාවේ හිස එසවීමට ඉඩ නොදෙන බවයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම වගවීමක් නොමැති පාලනයක් රටතුළ තිබී ඇතැයි ද පොලිසියේ ඇතැම් නිලධාරීන් පවා අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන බව ද පැවසීය. හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකුට ගිනි අවි 07ක් ලබා දී තිබූ බවත් ඇතැම් පුද්ගලයන්ට දී ඇති ගිනි අවි සොයා ගැනීමට පවා නොහැකි වී ඇතැයි ද කීය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ යටිබිම්ගත අපරාධ කල්ලි සමඟ හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. මේවා කොහොමද මේ කල්ලිවලට ආවේ කියන එක ගැන පරීක්ෂණ සිදුවෙනවා. ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපපත් කරලා කියන්නේ නෑ. ඒවා ඉදිරිපත් කරන්නේ අධිකරණයට. ඉස්සර පරීක්ෂණ ගැන වාර්තා මාධ්‍යයට දුන්නාම චූදිතයන්ට සැඟවෙන්න මාර්ග හැදෙනවා.
ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමඟ අලුත් ගමනක් යාමට නොහැකි බවයි. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු හතක් ලබා දී ඇතැයි නමුත් දැන් නව පත්වීම් සිදුකර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.