spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවූ හැටි මෙන්න

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දුවට අනුව අයකරගත් මුදල්වලින් රුපියල් කෝටි 24.5ක් වින්දිතයන්ට ගෙවා අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා අනුව එලෙස මුදල් ගෙවන ලෙස නියෝග කර තිබූ අතර එම ගෙවීම් නිරීක්ෂණය සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි‍රාජා සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට දැනුම් දුන්නේ එම නියෝගවලට අදාළව රුපියල් කෝටි 31.1ක් හානි පූර්ණ කාර්යාලයට වන්දි ලෙස ලැබී ඇති බවයි.

එහි දී ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනවාරි 31 වැනි දා වනවිට රුපියල් කෝටි 24.5ක් වින්දිතයන් අතර බෙදා දී ඇති බවයි.

පාස්කු ප්‍රහාඑරයේ වින්දිතයන් වූ පුද්ගලයන් 412 දෙනකුට මේ යටතේ වන්දි ගෙවා තිබෙන බවත් ඒ අතර මියගිය පුද්ගලයන් 215ක් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය තවදුරටත් පෙන්වා දුන්නේ ලැබුණු වන්දි මුදල්වලින් තවත් මිලියන 65ක් ගෙවීමට තිබෙන බවයි. එම මුදල වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යකරන වින්දිතයන්ට සහ වින්දිත වැඩිහිටියන්ට රැකවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව ද ඇය කීවාය.

කාදිනල් මැල්කම් රංජිත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවේන පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් කියා සිටියේ වන්දි මුදල් ලබාදීම පිළිබඳ සවිස්තර වාර්තාවක් ලැබී නොමැති බවයි.

වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් කාදිනල්තු ඇතුළු පෙත්සම්කාර පාර්ශවයට නොපමාව ලබාදෙන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, එම කටයුතු විමසා බැලීම සඳහා මෙම නඩුව නැවත මැයි මස 21වනදා කැඳවීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!