ඉස්ලාම් ආගමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 09ක සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මාපා පණ්ඩාර අද (25) නියෝග කළේය.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහරින්න යැයි ඥානසාර හිමි ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකෙරිණි.
ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජනවාරි මස 09 වනදා මාස 09 ක ලිහිල් සිරදඬුවම් සහ රුපියල් 1,500ක දඩයක් නියම කර තිබුණේ 2016 වර්ෂයේ දී කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඉස්ලාම් දහමට අපහාසවන ප්‍රකාශයක් සිදුකළා යැයි යන චෝදනාවටය.
මෙම දඬුවමට එරෙහි අභියාචනය විභාග කොට අවසන් වන තෙක් තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ද එය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කොට තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කළේය.
එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් නීතීඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේශ් සෙනෙවිරත්න පෙනී සිටි අතර නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරදකරු කරනු ලැබූ විත්තිකරුවකු අභියාචනයක් ඉදිරිපත් කළ විට ඔහු ඇපමත මුදාහළ හැක්කේ ඇප පනතේ 19(2) වගන්තියට අනුව පමණක් බව සඳහන් කළේය.
එම වගන්තියට අනුව ඇප ඉල්ලීමක් සලකා බැලිය හැක්කේ යම් විත්තිකරුවකුට එල්ල වී තිබෙන චෝදනාවල බරපතළභාවය සහ ඔහුගේ පෙර ක්‍රියා කලාපය යන කරුණු මත පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එහෙත් මහෙස්ත්‍රාත්වරයා එම නීතිමය ප්‍රතිපාදනය සැලකිල්ලට නොගෙන ඇප ලබාදීමට සුවිශේෂ කරුණු නොමැති බව සඳහන් කරමින් ඇප ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනයට යටත්ව සිටින විත්තිකරුවෙකුට ඇප නියම කිරීමේදී මහෙස්ත්‍රාත්වරයෙකු විසින් සැලකිල්ලට භාජනය කළ යුත්තේ ඇප පනතේ 19(2) වගන්තිය පමණක් බව සඳහන් කළේය.
එහෙත් සුවිශේෂී කරුණු නොමැති බව සඳහන් කරමින් විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරයා දුන් තීන්දුව නීතියට අනුව දුන් නියෝගයක් නොවන බවත් රජයේ නීතිඥවරිය සඳහන් කළාය.
ඒ අනුව අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.