පාසල් පොත්පත් සහ උපකරණ මිල දී ගැනීමට රජයෙන් ලබාදෙන රුපියල් 6000.00ක මුදල් වුවචරය ලබාගැනීමට නම් 2025 වර්ෂයට නියමිත පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කළ යුතු යැයි ගාල්ලේ, හීනටිගල සාරිපුත්‍ර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා දෙමාපියන්ට දැනුම් දී තිබේ.
අස්වැසුම ප්‍රතාලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ සහ පොත්පත් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් 6000.00ක මුදල අස්වැසුම මුදල් බැරකරනු ලබන ගිනුමට රජයෙන් එකතු කරනු ලබයි. ඊට අමතරව ළමයින් 300කට අඩු පාසල්වල අනෙකුත් සියලු සිසුන්ට එම මුදල වුවචරයක් ලෙස රජයෙන් ලබා දීම සිදුකරයි.
හීනටිගල සාරිපුත්‍ර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමුන් සංඛ්‍යාව 260ක් පමණ වන බැවින් එම පාසලේ සිසු දරු දැරියන්ට ද රජයේ එම දීමනාවට හිමිකම් ලැබී ඇත. ඒ අනුව පාසලේ සිසුන් අතරින් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අදාළ නොවන සිසු සිසුවියන් 93 දෙනකු සඳහා රුපියල් 6000.00 බැගින් මුදල් වවුචර පසුගිය සතියේ පාසලට එවා තිබිණි.
මෙම වවුචර ලැබුණු පසු එම පාසලේ විදුහල්පති එච්.ඒ.ආර්. ෆොන්සේකා මහතා දෙමාපියන්ගේ වට්ස්ඇප් සමූහයකට පණිවිඩයක් යොමුකරමින් පවසා ඇත්තේ 2025 වර්ෂයට නියමිත පාසල් සංවර්ධන ගාස්තුව වන රුපියල් 1260.00ක මුදල ගෙවා අවසන්කරන තුරු එම වවුචර ලබා නොදෙන බවයි. එබැවින් වවුචර ලබාගැනීමට නම් පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කර පැමිණෙන ලෙස විදුහල්පතිවරයා දෙමාපියන්ට දන්වා ඇත.
දෙමාපියන් පවසන්නේ පාසල් සංවර්ධන සමිති රැස්වීමක දී වාර්ෂික පාසල් සංවර්ධන ගාස්තුව වාරික තුනකින් ගෙවීමට හැකිවන පරිදි යෝජනාවක් පවා සම්මත කර තිබිය දී විදුහල්පතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරන බවයි. එමගින් දරුවන් සහ දෙමාපියන් දැඩි පීඩාවකට පත්වන බව ද මොපියෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයේ විදුහල්පති එච්.ඒ.රංගිත් ෆොන්සේකා මහතා මෙසේ කීවේය.
“ඔව්, මම කිව්වා දරුවන්ට දෙන රුපියල් 6000.00 පොත් සහ උපකරණ වවුචර ගැනීම සඳහා එනවනම් පාසල් සංවර්ධන සමිති ගාස්තු ගෙවා අවසන් කරලා එන්න කියලා. මේ අය පාසල් සංවර්ධන ගාස්තු ගෙවන්නේ නැත්තේ උවමනාවක් නැති කම නිසා. අපි පාසල පවත්වාගෙන යන්නේ ඉතාමත් අමාරුවෙන්. සල්ලි එකතුකරන්න එපා කියලා චක්‍රලේඛ එවලා තියෙනවා. රජයෙන් පාසල නඩත්තුවට සල්ලි දෙන්නේ නෑ. පාසල් සංවර්ධන ගාස්තුවලන් තමයි ඔක්කෝම කරන්න වෙන්නේ. පාසල් සංවර්ධන සමිතියේ දී ගත්තු තීරණය නෙවෙයි විදුහල්පතිවරයා ලෙස මේ පාසල පවත්වාගෙන යාම සඳහා මම මේ තීරණය ගත්තා”
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධයක්ෂ චන්න උපාලි වීරසේකර මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“දරුවන්ට පොත්පත් සහ උපකරණ මිල දී ගැනීමට රුපියල් 6000.00ක වවුචරයක් රජයෙන් ලබාදුන්නා. එය වෙනම දීමනාවක්. එම වවුචරය දීමට නම් පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කරන්න ඕන කියා කොන්දේසියක් දානවානම් ඒක වැරදියි. එය නොවිය යුතු දෙයක්. පාසල් සංවර්ධන ගාස්තු දෙමාපියන්ගෙන් අය කරගැනීම වෙන දෙයක්. රජයේ දීමනා දරුවන්ට කොන්දේසි නැතිව දෙන්න ඕනේ. මම මේ ගැන වහාම සොයා බලනවා.”