ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් විශාල වශයෙන් විදෙස් රැකියා සඳහා පිිටත්ව යාම හේතුවෙන් මෙරට වෘත්තීන් සඳහා පළපුරුදු පිරිස් අහිමිවීම හේතුවෙන් ශ්‍රම බළකායේ හිගයක් නිසා ඵලදායීතාවයේ පහත වැටීමක් ඇතිවේ යැයි මහ බැංකුව අනතුරු අඟවයි.
මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බාධා සිදුවනු ඇතැයි ද මහ බැංකුව පවසන්නේ 2025 වර්ෂය සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමිනි.
එම වාර්තාවෙන් උද්ධමනය සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් පුරෝකථනයක් කරමින් පවතින අවදානම ඇගයීමකට ලක්කරමින් මේ බව සඳහන් කර ඇත.
කාර්මික නිෂ්පාදනය, ආහාර සැකසුම් අංශ මෙන්ම විදුලි උත්පාදනය වැනි අංශ, දේශගුණික විපර්යාසයන්වල බලපෑමට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මධ් කාලීනව එවැනි සිදුවීම් මෙරට ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව මහ බැංකු වාර්තාවෙන් සඳහන් කර තිබේ.
මීට අමතරව විදේශීය අංශයේ කාර්ය සාධනය කෙරෙහි ගෝලීය අවිනිශ්චිතතා, විශේෂයෙන් අමෙරිකාවේ දේශපාලන වෙනස්කම් මත ඇතිවන තත්ත්වයන් හේතුවෙන් බලපෑම් සිදුවිය හැකි බව ද ඔවුන් පවසයි.
මේ අතර 2025 වසරේ ජනවාරි සමීක්ෂණයට අනුව රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම්, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟ රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලුම යනාදි කරුණු හේතුවෙන් ඉදිරි මාස 03 සිට දිගු කාල සීමාවක් දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ද මේ වසර සඳහා ඉදිරිපත් කළ සිය පළමු මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ