-2.1 C
New York

අධික රස්නයෙන් ප්‍රවේශම් වෙන්න. දරුවන්ට අහිතකර බලපෑම්

Published:

අධික උණුසුමක් සහිත කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිටයි.

අද (15) කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක සාමාන්‍ය අගයක තිබිය යුතු වුව ද අද දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් ලෙස වාර්තා වී තිබිණි.

අධික උෂ්ණත්වය එදිනෙදා කටයුතු සඳහා බාධා එල්ලවන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න යැයි ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි. අධික උෂ්ණත්වය නිසා ශරීරයේ ජලය සහ ලවණ දහඩිය ලෙස පිටවන බැවින් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් පවා විජලන තත්වයට පත්විය හැකි බැවින් හැකිතරම් ජලය පානය කළ යුතු බව ද සෞඛ්‍ය අංශ පවසා තිබේ.

එළිමහේන කටයුතු කරන පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව ද වෛද්‍යවරු කියති.

අධික විජලන තත්ත්වය හේතුවෙන් හෘද වස්තුවට සහ මොළයට බලපෑම් එල්ලවිය හැකි අතර එය තාප කම්පන තත්ත්වයක් ලෙසද හඳුන්වනු ලබයි. එවැනි අහිතකර තත්වයන්ට පත්වීමෙන් වැළකීමට නම් වැඩිපුර ජලය පානය කළ යුතුය.

ජලය ඇතුළු ස්වභාවික දියර වර්ග පානය කිරීම වඩාත් සුදුසු වුව ද කෘතිම දියර වර්ග පානය කිරීම අහිතකර බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ මේ දිනවල පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන බැවින් ළමයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීම සම්බන්ධව සැලකිලිමත් විය යුතු බවයි.

ළමයින් දහවල් කාලයේදී වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වුවහොත් ඔවුන්ද තාප කම්පන තත්ත්වයට පත්විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරයා එම හේතුවෙන් විජලන තත්ත්වයට පත්වන බවද සඳහන් කළේය.

දැරීමට අපහසු උෂ්ණත්වයක දී ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අහිතකර තත්වයන්ට අමතරව දහඩිය බිබිළි හටගැනීම, දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්වයන් හටගැනීම දක්නට ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරු කියති.

මේ දිනවල මැස්සන්ගේ ව්‍යාප්තිය ද වැඩිවිය හැකි බැවින් දරුවන්ට ආහර ලබාදීමේ දී සැළකිලිමත් වන ලෙසත්, මැස්සන්ගේ ස්පර්ශයන්ට ලක්වන ආහාර ලබාදීමෙන් පාචනය වැනි රෝග පැතිරී යා හැකි බවත් වෛද්‍යවරු පෙන්වා දී ඇත.

Related articles

Recent articles

spot_img