ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද (14) කටයුතු කළේය.
එම ක්‍රීඩා සභාවේ නව සභාපති ලෙස හිටපු රග්බි නායකයකු සහ පැසිපන්දු ක්‍රීඩකයකු ද වන ප්‍රියන්ත ඒකනායක පත්කර තිබේ. සභාපතිවරයා ඇතුළු 13 දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සාමාජිකාවෝ අද ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිය පත්වීමේ ලිපි ලබාගත්හ.
මෙම ජාතික ක්‍රීඩා සභාවට හිටිපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම ද ශ්‍රියානි කුලවංශ ද ඇතුළත් වෙයි. ඔවුන්ට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය සමන්තා නානායක්කාර, රුක්මන් වෑකඩපොළ, චානක ජයමහ, රොහාන් අබේකෝන්, නිරෝාෂන් විජේකෝන්, මුරාද් ඉස්මයිල්, සී.රත්නමුදලි, මලික් ජේ ප්‍රනාන්දු, ශානිත ප්‍රනාන්දු යන අය ද ඇතුළත් වෙති.
ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් පිළිබඳ තොරතරු
ප්‍රියන්ත ඒකනායක – සභාපති
රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. තවද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇත.
සිදත් වෙත්තමුනි –
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වන ඔහු 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කර ඇත. ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගි වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද වේ.
රොෂාන් මහනාම –
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, 1996 එක්දින ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකි. ටෙස්ට් තරග ඉතිහාසයේ දිවාරාත්‍රී තරගක තීරකයෙකු වශයෙන් පෙනී සිටි පළමු පුද්ගලයා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ තාක්ෂණික උපදේශක කමිටු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත.
ශ්‍රියානි කුලවංශ –
ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් හා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනා ඇත. 1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා 70කට අධික සංඛ්‍යාවකට සහභාගි වී තිබේ. ඇය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මී.100 කඩුලු පැනීම ඉසව්වේ වාර්තාවට තවමත් හිමිකම් කියයි.
සමන්තා නානායක්කාර –
කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියකි. ක්‍රීඩා මනෝ විද්‍යාඥවරියක් වන අතර, මෙරට පළමු ක්‍රීඩා මහචාර්යවරිය ඇයයි. ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා ක්‍රීඩාකර ඇති පැසිපන්දු ක්‍රීඩිකාවකි.
රුක්මන් වෑකඩපොළ –
ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් ද වේ. එමෙන්ම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රීඩා ගුරුවරයෙක් වශයෙන් ද කටයුතු කරයි.
චානක ජයමහ –
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතු වල නියැලෙන අතර, Colombo Dockyard PLCහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.
රොහාන් අබේකෝන් –
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතුවල නියැලී ඇති අතර, ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත. රග්බි සත්සාමාජික කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වේ.
නිරෝෂන් විජේකෝන් –
බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ පළමු බැඩ්මින්ටන් ක්‍රීඩකයා ද වේ. 1983- 1987, 1989- 1992 කාලවකවානුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල ශූරතාව හිමිකර ගෙන ඇත. ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද කටයුතු කර තිබේ.
මුරාද් ඉස්මයිල් –
ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනය ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර ඇත. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේසපන්දු සංගමයේ හිටපු ලේකම්වරයෙක් ලෙසත් කටයුතු කර ඇත.
සී. රත්නමුදලි –
මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර, විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත. වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක් ද වේ.
මලික් ජේ. ප්‍රනාන්දු –
ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ශානිත ප්‍රනාන්දු –
හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12කට වැඩි කාලයක් විවිධ දස්කම් දැක්වූ අයෙකු වේ. 1994 දී කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. CR & FC රග්බි සමාජයේ හිටපු උප සභාපතිවරයාද වෙයි.