“බලයට පත්වෙන්න ඉස්සෙල්ලා අපිත් එක්ක බිමට බැහැලා ධීවරයන් වෙනුවෙන් සටන් කරපු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දැන් ආණ්ඩුවේ සහෝදර මන්ත්‍රීවරු ධීවර ප්‍රශ්න ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. එයාලා මොකුත්ම කියන්නේ නෑ. අපේ ප්‍රශ්න එතනමයි.” යැයි ජාතික ධීවර වෘත්තීය සමිතියේ ලේකම් එච්.පී.චන්ද්‍රිකා කීවාය.
ඇය මේ බව කියා සිටියේ මාතර පැවැති සාමය සහ තිරසර සංවර්ධනය සඳහා ජනතාව අතර සංවාදය යනුවෙන් පැවැති වැඩසටහනක දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“උතුරේ ධීවරයන් ඉන්දියානු බෝට්ටු නිසා දැඩි අපහසුතාවකට පත්වෙලා ඉන්නේ. මේ ගැන අපි පසුගිය රජය සමඟ කතා කළා. ඒ වෙලාවේ දැන් රජයේ ජනාධිපතිතුමා ඇතුළු සහෝදරවරු පවා බිම් මට්ටමේ අපිත් එක්ක එකතුවෙලා රජයට එරෙහිව සටන් කළා. ජනාධිපතිධූරයට පත් වූ අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. අපේ ප්‍රශ්න කතා කරනවා කිව්වත් එහි දී ගත් තීන්දුව මොකක්ද කියවත් අපිට කියන්නේ නෑ. මේ ඉන්දියාවේ යාත්‍රා නිසා ශ්‍රී ලංකාවේ ධීවරනය් වඳ වෙනවා. රජය තීරණය කරන්න ඕන අපේ ධීවරයන් වඳ කරනවා ද ? කිසිවක් නොකියා වඳ වෙන්න ඉඩ හරිනවා ද කියලා. අපි ජනාධිපතිතුමාගෙන් අහනවා එදා ධීවරයන් වෙනුවෙන් කෑ ගහපු ඔබ අද මහ පුටුවට වෙලා ධීවරයන් වෙනුවෙන් කතා නොකරන්නේ ඇයි කියලා.”
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා මෙසේ කීවේය.
“ධීවරයන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හානිකර ආම්පන්න ගැටලුව. එය වැළැක්වීම සඳහා ධීවර පනතක් අවශ්‍ය වෙනවා. හිටපු රජය 2023 දී ධීවර කළමනාකරණ පනතක් ගෙනාවා. මේ රජය බලයට පත්වෙලා මාස දෙකක් ඇතුළත ඒ පනත ම සම්මත කරගන්න උත්සාහ කරනවා. මෙයින් පොඩි ධීවරයාට විශාල හානියක් සිදුවෙනවා. සුළු ධීවරයන් කර්මාන්තයෙන් ඉවත් කරන වගන්ති මේ පනතේ තියෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ටෝලර් යාත්රවලටත් හානි දායකයි. එහි 40 වැනි වගන්තියට අපි දැඩි විරෝධයක් දැක්වූවා. ජනතාවාදී යැයි කියන ආණ්ඩුවක් එවැනි ක්‍රියාමාර්ගයක් නොගනීවි යැයි අපි හිතනවා. කලින් රජය මහ මුහුද විකුණන්න සූදානම් වුණානම් ඔබත් ඒකම නම් කරන්නේ එය නොවිය යුතුයි. රජය අපට පොරොන්දු වුණේ මේ ප්‍රශ්න විසඳා දෙන බවට.”
ඔවුන් පවසන්නේ ඉන්දියාවේ යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ මසුන් අල්ලා ගැනීම බරපතල ගැටලුවක් බවයි යාත්‍රා 500කට වැඩි ප්‍රමාණයක් එලෙස මුහුදු සීමාව උල්ලංඝනය කළ විට යාත්‍රා 05ක් පමණ අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බව ද ධීවරයෝ පෙන්වා දෙති.
“ඉන්දියාවේ ධීවර යාත්‍රා සූදානම් වෙලා එන්නේ. හරියට ආක්‍රමණය කරනවා වගේ. එයාලා ආයුධත් අරගෙන ඇවිත් අපේ ධීවරයන්ට පහර දෙනවා. නාවික හමුදාව මේ අපේ මුහුදු තීරය ආරක්ෂා කරන්න ඕනේ. ඉන්දියාව කලාපයේ බලපවතා බව අපි දන්නවා. ඒ බලපෑමට යටත් වෙලා ද මේ රටේ ආණ්ඩුව, නාවික හමුදාව කටයුතු කරන්නේ. අපිටත් යටත් වෙලා ඉන්න ද කියන්නේ. මුහුද ආක්‍රමණය කිරීම වැළැක්වීම රජයේ වගකීමක්.” යැයි ද ඔවුහු කීහ.
හර්මන් කුමාර මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා පියවර කිහිපයක් ගත යුතු බවයි. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවත්, මත්ස්‍ය අස්වැන්නෙන් දැනට 35%ක් පමණ විනාශ වන බැවින් එම අස්වැන්න බේරාගැනීමට රජය විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතු බවත් හෙතෙම කීවේය. එමෙන් ම ධීවරයාගේ ක්‍රියාකාරීත්වය ඇතුළේ කාන්තාව දක්වන දයකත්වයට නිසි සැළකීමක් පිළිගැනීමක් නොමැතිවීමේ ගැටලුව නැතිකර මේ කර්මාන්තය සඳහා කාන්තාවට දායක වෙන්න අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
ධීවරයාට සහනාධාර ලබාදෙන ක්‍රමය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ ඇත්තේ විරෝධයකි.
මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ධීවර නියෝජිතයන් පවසන්නේ තෙල් සහනාධාරය ලැබෙන්නේ සැබැවින් ම ධීවරයාට නොව බෝට්ටු හිමිකරුවාට බවයි. ඒ නිසා තෙල් සහනාධාරය ඉවත්කර තෙල් මිල අඩුකර දෙන්න යැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. ඒ සඳහා ධීවරායට කිසියම් කෝටා ක්‍රමයක් ලබාදිය යුතු බව ද ඔවුන්ගේ යෝජනාවක් වී තිබේ.
“මේ රජය ධීවරයා වෙනුවෙන් යමක් කරාවි කියලා අපි තවමත් හිතාගෙන ඉන්නවා. රජය සමඟ අවස්ථා කිහිපයක් ම අපි සාකච්ඡා කළා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අපිත් එක්ක හිටපු කෙනෙක්. ඒ නිසා මේ රජයට අපි අමුතුවෙන් ප්රශ්නය තේරුම් කර දෙන්න අවශ්‍ය නෑ.”
ඔවුන් පවසන්නේ බලාපොරොත්තු වූ තරම් මේ රජයත් ධීවර ගැටලුව විසඳීමට තවමත් මැදිහත් වී නොමැති බවයි.
ජනාධිපතිට, ඉස්සර කියපු දේවල් දැන් මතක නෑ (වීඩියෝ)
![Anura Kumara](https://si.rata.lk/wp-content/uploads/2025/02/Anura-Kumara-650x385.jpg)