මේ වනවිට වත්මන් ආණ්ඩුව අනගමනය කරන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන ගියහොත් තවත් වසර දෙකකින් පඹණ නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේ ය.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ ඊයේ (02) පැවැති රැස්වීමක දී ය.
රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වයෙන් ගොඩ ඒමට, ප්‍රධාන ඉලක්ක ගණනාවක් සම්පූර්ණ කළ යුතු බවත්, ඒ අතර වේගවත් ආර්ථික වර්ධනය සහ ඉහළ රාජ්‍ය ආදායමක් පවත්වා ගැනීම ප්‍රමුඛ වන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
ආර්ථික අර්බුදයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට සුබවාදී, ජනතාවට පීඩාකාරී නොවන කොන්දේසි ඔස්සේ මූල්‍ය පහසුකම් ලබා ගන්නා ලෙස තමන් එදා පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට කොතෙකුත් පැහැදිලි කළද ඔවුන් එලෙස නොකිරීමෙන් රට ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
“මේ මොහොතේ IMF ගිවිසුමේ කොන්දේසි හා සමපාත වූ ජනතාවට අතිශය පීඩාකාරී ආර්ථික වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක වනවා, වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරණයට මුහුණ දෙන අවස්ථාවේ නව IMF ගිවිසුමක් හරහා ජනතාවට සහන ලබාදෙන බව ප්‍රකාශ කළා. නමුත්, වර්ථමාන ආණ්ඩුවත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ, පසුගිය රජය එකඟවූ ගිවිසුමයි.” යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා වැඩිදුරටත් කීවේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යළි සාමාලෝචනය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාවාදී ගිවිසුමකට ප්‍රවේශ වන බවට, මැතිවරණ වේදිකාවේදී සහ මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ජනතාවට පොරොන්දුවක් දුන් බවත් ආණ්ඩුවට මතක් කර දිය යුතු යැයි ද හෙතෙම කීවේ ය.
“ආණ්ඩුව ජනතාවට ඇත්ත කියන්න ඕනේ. සත්‍ය හෙළිදරව් කිරීම රජයේ වගකීමක්.” යැයි පැවසූ ඔහු කියා සිටියේ එදා ගෝඨාභය රාජපක්ෂ රජය තමන්ට සිනාසෙමින් තමන් කියූ දෙය නොසළකා හැරි බවයි. නමුත් අවසානයේ තමන් පැවසූ දේ කරන්නට ඔවුන්ටත් සිදු වූ බව හෙතෙම පෙන්වා දුන්නේ මේ රජයටත් එවැනි ම අනතුරු ඇඟවීමක් සිදුකරමිනි.