spot_img
spot_imgspot_img

කොළඹ හෝටලයක දී විදෙස් තරුණියක් මරුට

පුවත්

විදෙස්

කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටි විදේශීය කාන්තාවක් හදිසියේ ඇති වූ අසනීප තත්වයකින් මියගොස් තවත් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල්කර ඇති බවත් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි.

ඔවුන් රෝගීන් වීමට හේතුව විෂ රසායනිකයක් අඝ්‍රානය වීම විය හැකියැයි පොලිසිය සැකකරයි. කොල්ලුපිටිය, මුහන්දිරම් මාවතේ පිහිටි නවාතැන් පොළේ කාමරයක වයස අවුරුදු 30ක ජර්මන් ජාතිකයකු, අවුරුදු 27ක ජර්මානු තරුණියක් සහ 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන් ගෙන ඇත.

ඊයේ උදෑසන මෙම විදේශිකයන් තිදෙනාට අධික හිසරදය, වමනය සහ ක්ලාන්ත ගතිය ඇති වී තිබූ බවත් ඒ හේතුවෙන් ජර්මන් ජාතික යුවළ ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවත් හෝටල් සේවකයෝ කියති.

ඉන් පසු ඊයේ සවස 7.30 පමණ වනවිට මියගිය 24 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණිය ද රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ගිලන්රථයකින් ඇය ද රෝහලට ගෙනගොස් තිබිණි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගියා ය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජර්මන් තරුණිය ද අසාධ්‍ය තත්වයෙන් සිටින බවයි. ඇය හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම විදේශීය ජාතිකයන් තිදෙනා නවාතැන් ගත් කාමරයට යාබද කාමරයට පසුගිය ජනවාරි 30 වැනි දා මකුණන් මර්ධනය යොදා ගන්නා ෆොස්ෆීන් නමැති රසායනිකය යොදා ධූමායනය කර ඇති බව ද වාර්තා වී තිබේ. එම රසායනිකය යෙදීමෙන් පසු පැය 72ක කාලයක් කාමරය වසා තිබිය යුතු බැවින් එම කාමරය වසා තිබූ බව ද පැවසේ.

මේ මරණය වාර්තාවීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද අදාළ හෝටලයට ගොස් ආහාර වර්ගවල යම් විෂක් තිබුණේ ද යන්න පිළිබඳ සෙවීමට හෝටලයට මුද්‍රා තබා ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

පොලිසිය පවසන්නේ තරුණියගේ මරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඇගේ ඥාතීන් දැනුම්වත් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!