-5.2 C
New York

කුම්භමේලා උත්සවයේ දී, පිරිසකට දිවි අහිමි වෙයි

Published:

ඉන්දියාවේ කුම්භමේලා උත්සවය අතරතුර සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුට වැඩි පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් සිදුව ඇති මරණ සහ තුවාලකරුවන් සංඛ්‍යාව පිළිබඳ කිසිදු නිල සඳහනක් මෙතෙක් නැත. තුවාලකරුන් රෝහල්ගත කිරීම පවා අතිවිශාල පිරිස මධ්‍යයේ සිදුකිරීම අපහසු වී තිබේ.

ඉන්දියාවේ වාර්තා සඳහන් කරන්නේ මෙවර කුම්භමේලා චාරිත්‍රය සඳහා පුද්ගලයන් කෝටි 10කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි.

උත්තර් ප්‍රාන්ත මහ ඇමති යෝගි ආදිත්‍යනාත් පවසන්නේ කිසිදු බාධාවකින් තොරව සංගම්හි ස්නාන් චාරිත්‍රය මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.

ඉන්දියාවේ ඇති විශ්වාසයකට අනුව මෙවර කුම්භමේලා උත්සවයේ දී ත්‍රිවෙනි යෝග් නමැති විශේෂ ග්‍රහ පිහිටීම යෙදී ඇති අතර එය සිදුවූ බව පවසන්නේ වසර 144කට පසුවය. එමෙන් ම කුම්භමේලා හි අමාවස්යා දිනය ද යෙදී තිබීම හේතුවෙන් මෙවර උත්සවයට දැඩි උනන්දුවක් තිබූ බව ද පැවසේ.

ශුද්ධ වූ ස්නානය පැවැත්වෙන ගං ඉවුර වෙත පැමිණීමට  එම පිරිස් උත්සාහ කිරීමේ දී ඒ අසළ බිම නිදාගෙන සිටි පිරිස පෑගීමට ලක්වීම හේතුවෙන් මරණ සිදුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මේ සිදුවීම හේතුවෙන් අම්රිත් ස්නානය තාවකාලිකව නවැත්වීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබිණි. එසේ වුව ද බැතිමතුන් ස්නාන් චාරිත්‍රය සිදුකිරීමට උත්සාහ කරමින් සිටින බව ද වා්තා වේ.

Related articles

Recent articles

spot_img