spot_img
spot_imgspot_img

වසර 58කට පසු හමු වූ අවර වවුලා

පුවත්

විදෙස්

රතු දත්ත පොතේ, දත්ත වාර්තා නොමැති සත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබූ අවර වවුලා හෙවත් ටිකෙලිගේ වවුල් වසර 58කට පසු සොයාගැනීමට හැකි වූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය තාරක කුසුමින්ද පවසයි.

සත්ව විද්‍යාතමක ව Hesperoptenus tickelli ලෙස නම්කර ඇති මෙම වවුල් විශේෂය මීට පෙර අවසන්වරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබුබණේ 1963 වර්ෂයේ දී ය.

ආචාර්ය කුසුමින්ද පවසන්නේ පළමුවරට 1851 වර්ෂයේ දී සොයාගෙන ඇති මෙම වවුලන් විශේෂය මෙරට වියළි, තෙත් සහ අතරමැදි පරිසර කලාපවල දී සුලභව දක්නට ලැබී ඇති බවයි. නමුත් 1963 වර්ෂයෙන් පසු මෙම වවුලා ශ්‍රී ලංකාවේ සිටින බවට වාර්තා ලැබී තිබුණේ නැත.

වෙස්පර් වවුලන් විශේෂයක් වන මොවුන් බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, මියන්මාරය සහ නේපාලය යන රවටල ද වාර්තා වී තිබේ.

මෙම වවුල් විශේෂය වාර්තාවන රටවල්

හිස සහ සිරුරේ දිග සෙන්ටිමීටර 07 (අඟල් 2.8) වේ. නළල සෙන්ටිමීටර 05 සහ 06 (අඟල් 2.0 සහ 2.4) අතර දිග වේ.

ගැහැණු සතුන් පිරිමින්ට වඩා විශාලය. සාමාන්යයෙන් වර්ණය අළු කහ සිට දීප්තිමත් රන්වන් දුඹුරු දක්වා වෙනස් වේ. යටි පැත්ත අළු සහ සැහැල්ලු ය. ලොම් මෘදු හා ඝන වේ. අත් සහ පාද රෝස පැහැයෙන් යුක්ත වන අතර ඒවා අතර ඇති පටලය කළු පැහැයක් ගනී. ඉන්ටර්-ෆෙමෝරල් පටලය රෝස පැහැයෙන් යුක්ත වන අතර පිටත මායිම දෙසට කළු පැහැයට හැරේ. මුඛය පුළුල් හා ඉදිමුණු ස්වභාවයක් ඇත. නියපොතු කළු ය. පියාපත් මධ්‍යස්ථව පළල, සෙන්ටිමීටර 38 සහ 41 (අඟල් 15 සහ 16) අතර විහිදෙන අතර පළල සෙන්ටිමීටර 7 (අඟල් 2.8) පමණ වේ. වලිගය තුඩ පටලයකින් වට වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයක දී මෙම වවුල් විශේෂය සතුන් තිදෙනකු කොළඹ හෝකන්දර, කුරුවිට එක්නැලිගො පහ මහනුවර හල්ලොලුව ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

මෙම සත්ව විශේෂය දීර්ඝ කාලයක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ගේ හැසිරීම් රටා සහ වාසස්ථාන පිළිබඳ නිශ්චිත අධ්‍යයනයක් සිදුකර නැත. කෙසේ වෙතත් ඔවුන් පිළිබඳ පෙර වාර්තාවන් සහ වත්මන් අධ්‍යයනයන් අනුව තහවරු වී ඇත්තේ මේ වවුල් විශේෂය උස් තුරු මුදුන්වල පත්‍ර අතර සැඟවී ජීවත්වන බවයි.

මෙම අධ්‍යයනය සඳහා ආචාර්ය තාරක කුසුමින්ද සමඟ විශ්‍රාමික මහාචාර්ය විපුල බණ්ඩාර යාපා, චාමර අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලකවංශ චන්ද්‍රතිලක, රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමානි මාන්නක්කාර, තරුණ සත්වවේදීන්ගේ සංගමයේ පසිඳු අබේගුණවර්ධන, විතනගේ සෙන්නිල සහ විවෘත විශ්වවිද්‍යාලයේ සමීර අබේරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!