රටේ ප්‍රකට මැණික් ව්‍යාපාරික පවුලක් විසින් සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ හා වන පිවිසුම හෝටල් ඉඳිකිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට යාන්ත්‍රික මැණික් පතල් කැණීමක් දක්වා පරිවර්ථනය වී තිබේ.
මෙම විනාශය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් කොතෙක් වගකිව යුත්තන්ට පැමිණිලි කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ගේ සහයෝගය සහ මඟ පෙන්වීම මත සිදු වූ හෝටල් ව්‍යාප්ත කිරීමේ හා වන පිවිසුම විනාශ කිරීමේ ක්‍රියාවලිය වර්තමාන ජාතික ජන බලවේග රජය යටතේ දී සිදුවෙමින් පවතී.
එදා ලබාදුන් වැරදි පූර්වාදර්ශය අද වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මඟ පෙන්වීමෙන් නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීම ද වර්ධනීය තත්ත්වයකට පරිවර්තනය වී තිබේ.
මෙම නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීම් සිදුවෙමින් පවතින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ද ග‍්‍රාම නිලධාරී වසමේ බෝටියතැන්න ප‍්‍රදේශයේ සන්නන්දොළ මායිමේ පිහිටි ඉඩමක ය.
රක්වාන නගරයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන මෙම ඉඩමේ හිමිකරු රත්නපුර මැණික් ව්‍යාපාරිකයකු සමඟ එක් ව මෙම යාන්ත්‍රික පතල් කැණීම් සිදුකරයි. රඹුක ගඟේ ආරම්භය ලෙස සැලකෙන සන්නන් දොළ මායිමේ හා එම දොළෙහි ආරම්භක භූගත දියදහරාවන් විනාශ කරමින් බැකෝ යන්ත‍්‍ර හතරක් උපයෝගී කර ගෙන මෙම මැණික් පතල් කැණීම් සිදු කරයි. රඹුක ගඟ, කුකුළේ ගඟේ ප‍්‍රධාන අතු ගංගාවක් වන අතර එය කළු ගඟ පෝෂණය කරන අතු ගංගාවකි. ශ්‍රී ලංකාවට ආවේණික සහ ඉතා ම දුර්ලභ ජලජ ජීවීන් රැසක් වාර්තා වන මෙම ජල මාර්ග පද්ධතියට දැවැන්ත රොන්මඩ ප‍්‍රමාණයක් එක් කරමින් මෙම යාන්ත්‍රික පතල් කැණීම් සිදු වෙමින් තිබේ.
මෙම පතල් කැණීම් සිදු කරන මාණික්කවත්ත, බෝටියතැන්න ප‍්‍රදේශය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඞ් ප‍්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ද වනාන්තර ප‍්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප‍්‍රධාන අලි මංකඩ වැටී ඇත.
මීට අමතර ව සිංහරාජ සමස්ත වන රක්ෂිතයේ හඳපාන්ඇල්ල හා පනිල්කන්ද සම්බන්ධ කරන වන පිවිසුම වන්නේ බෝටියතැන්න ප‍්‍රදේශයයි. මේ ප‍්‍රදේශය අවහිර කළ විට සිංහරාජ වන රක්ෂිතය සම්පූර්ණයෙන් ම දෙකඩ වී යයි. වර්තමානය වන විට හෝටල් ඉදි කිරීමෙන් හා යාන්ත්‍රික පතල් කැණීමෙන් වනාන්තර පද්ධතියේ විශාල ප‍්‍රදේශයක් දෙකඩ වීමට ලක්වී ඇති අතර මේ හේතුව නිසා මෙහි ජීවත් වන උප කඳුකර වනාන්තර ආශ්‍රිත ආවේණික ජීවීන්ට බොහෝ තර්ජන එල්ල වේ.
සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනා මෙම වනාන්තර පද්ධති දෙක අතර ගමන් කරන ප‍්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඬේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප‍්‍රස්වත්ත යන ගම්මානවලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට හා වගා බිම් හා දේපල හානි කිරීම්වලට මුහුණ දීමට සිදු වේ.
නීති විරෝධී ව යාන්ත්‍රික මැණික් පතල් කැණීමට බලපත‍්‍ර නිකුත් කිරීම
මෙවන් ඉතා ම සංවේදී පරිසර පද්ධතියක යාන්ත්‍රික පතල් කැණීම සඳහා අනුමැතිය ලබා දීමෙන් සිදු වන හානි කර තත්ත්වය හා නීති විරෝධී තත්ත්වය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොර ව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා කැනීම් බලපත‍්‍ර නිකුත් කර ඇත.
2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත‍්‍ර, බුල්ඩෝසර් යන්ත‍්‍ර හා උකහා ගැනීමේ යන්ත‍්‍ර භාවිත කර ගංඟා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංඟා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංඟා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංඟා දෙපස ප‍්‍රදේශයයි. මේ අනුව සන්නන් දොළ මායිමේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත‍්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නීතිමය හැකියාවක් නොමැත.
ගංගාවල හෝ එහි රක්ෂිත ප‍්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 02ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එසේ තිබිය දී බෝටියතැන්නේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා අංක 1018786 දරන කැණීම් බලපත‍්‍රය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කර ඇත්තේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.
මැණික් අධිකාරියේ නීති විරෝධී ක්‍රියාමාර්ග
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ මගින් දැවැන්ත විනාශයන් ඇති කරමින් ස්වාභාවික පරිසර පද්ධති හා ජන දිවිය බිඳ වැටීමට හේතු වන ආකාරයෙන් ව්‍යාපාරිකයන්ට කටයුතු කිරීමට අවස්ථාව සකස් කර දෙන ආකාරය මේ මගින් පෙනී යයි. 2020 ජනවාරි 14 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී ද පෙනී යන්නේ එම අධිකාරියෙන් නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප‍්‍රමාණවත් ව සිදු කර නොමැති බව යි. නමුත් ඒ වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කරන ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් ගේ ප‍්‍රකාශ මගින් තහවුරු වේ.
අල්ලස් මත නීති ක්‍රියාත්මක නොකර සිටීම
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත‍්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි ය. පනතේ 15(4)(ආ)(II) හා (III) වගන්තිවලට අනුව බලපත‍්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත‍්‍රය මාස 12 ක කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත‍්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත‍්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත‍්‍රයක් සහිත ව හෝ රහිත ව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000.00 දක්වා දඩයකට හෝ මාස 06ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මෙම පනතේ 49(1) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් සඳහා භාවිත කරන භාණ්ඩ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමේ බලය ඇති අතර 50 වන වගන්තියට අනුව ඒවා රජය සතු වන්නේය. 51(2) වගන්තියට අනුව නීති විරෝධී ව මැණික් කැණීම් කරන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයකට හෝ වසර 05 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.
මෙතරම් විශාල බලතල ප‍්‍රමාණයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙන් එම අධිකාරියට ලබා දී තිබිය දී මෙම බලතල භාවිත කර විධිමත් මැණික් කැණීම් කටයුතු රට තුළ ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ප‍්‍රබල දේශපාලඥයන් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ වී ජාවාරම් කටයුතුවල නිරත වීම හා අල්ලස් ලබා ගනිමින් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දීම ය. එහි අවසන් ප‍්‍රතිඵලය මෙම පතල් කැණීම් ප‍්‍රදේශ අවට ජීවත් වන ජනතාව හා ජෛව ප‍්‍රජාව දැඩි පීඩනයකට ලක් වීම ය.
පොලීසියට බලතල කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව ලබා නොදීම
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 47 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකි ය. ඒ අනුව 2013.10.16 වන දින IGP/Fax/IN/1634/2014 දරණ පොලිස්පතිවරයාගේ ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. 2015.05.11 වන දින පොලිස් චක‍්‍රලේක අංක 2542/2015 අනුව බලපත‍්‍ර නොමැති ව නීති විරෝධී ව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වැටලීමේ හා එවන් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ සියලූ පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
නීති විරෝධී මැණික් කැණීම් සිදු කරන ස්ථාන පොලිස් නිලධාරීන්ට හඳුනා ගැනීම පහසු කිරීම සඳහා වලංගු බලපත‍්‍ර සම්බන්ධයෙන් ලැයිස්තුවක් සෑම මසක ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රාදේශීය කළමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත ලබා දිය යුතු ය. නමුත් බලපත‍්‍ර ලබා දී ඇති ස්ථාන පරීක්ෂා කිරීමේ බලය හෝ බලපත‍්‍රයක නීත්‍යානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය පොලිස් නිලධාරීන්ට ලබා දී නොමැත. මේ නිසා බලපත‍්‍ර අංකය ප‍්‍රදර්ශනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් හා එක් ව මැණික් ව්‍යාපාරිකයන් මෙම ජාවාරමේ නිරත වේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන රට තුළ ක්‍රියාත්මක වන අතරතුර මේ ආකාරයෙන් මැණික් ජාවාරම් සිදු වීමෙන් පෙනී යන්නේ මෙම වැඩසටහන හුදු ප‍්‍රචාරක ක්‍රියාවලියකට පමණක් සීමා වී ඇති බව යි. නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක් ව රටේ සමස්ත ස්වාභාවික සම්පත් හා සියලූ ජීවීන්ට ජීවත් වීමට ඇති අයිතිය මෙන් ම නීතියේ ආධිපත්‍යය විනාශ කර දමද්දී වත්මන් ආණ්ඩුව ඒ සඳහා ඉඩ දී බලා සිටිති. මෙය මින් පෙර පැවති ආණ්ඩුවල ස්වභාවය ම බව පෙනී යයි.
එබැවින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම යන්න මැතිවරණ සමයේ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ලේඛනයකට පමණක් සීමා වන බව පෙනී යයි. එය සැබෑ ලෙස ම ජනතාව සමඟ සම්මුතිගත වීමක් නොවන බව පෙනෙන්නට තිබේ. නමුත් අප අවධාරණය කරන්නේ සිංහරාජ සමස්ත වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන් ම වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මෙම නීති විරෝධී යාන්ත්‍රික පතල් කැණීම් හා හෝටල් ඉදි කිරීම් සම්පූර්ණයෙන් ම ඉවත් කර බෝටියතැන්න සමස්ත ප‍්‍රදේශය ම වන පිවිසුමක් ලෙස රක්ෂිත තත්ත්වයට පත් කර සුරක්ෂිත කරන ලෙස ය.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය