spot_img
spot_imgspot_img

ලෝක බැංකුවේ ණය වෙලාවට දෙනවා, ජනාධිපතිට පොරොන්දුවක්

පුවත්

විදෙස්

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් අද (21) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී කියා සිටියේ ය.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.

රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර තිබේ.

එමෙන් ම, අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ සහ උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය ආධාර ද නියමිත දිනට ලබාදීමට කටයුතු කරන බව ද ලෝක බැංකු නියෝජිතයෝ මෙහි දී කියා සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවයි. ඒ සඳහා නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා ද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 28%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කළත්, ශ්‍රී ලංකා ආර්ථිකයට  කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබාදෙන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් පමණක් වීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක බැංකු නියෝජිතයන්ට පෙන්වා දුන්නේ ය.

තරුණ ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය සම්බන්ධයෙන් රජය සතු වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, 2025 වසරේදී මෙරටට වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානයට ලක්ව තිබේ.

ගුවන්තොටුපොළ හා වරාය සංවර්ධනය සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් වරාය සංවර්ධනය කිරීම කඩිනමින් සිදුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවත් උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමටද කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!