සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි තරඟයෙනුත් අන්ත පරාජයක් අත්කර දෙමින් නවසීලන්ත කණ්ඩායම තවත් එක් තරඟයක් ඉතිරිව තිබිය දී ම එක්දින තරඟාවලිය ජයගැනීමට අද (08) සමත්විය.
හැමිල්ටන්හි දී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
වර්ෂාව හේතුවෙන් ආරම්භය ප්‍රමාද වූ තරඟය පන්දුවාර 37කට සීමා කළ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 255ක් රැස්කළේය.
මහීෂ් තීක්ෂණ කඩුළු ත්‍රිත්වයක් ද සමඟින් පන්දුවාර 08ක දී කඩුළු 04ක් දවාගැනීමට සමත්වුව ද එය නවසීලන්ත කණ්ඩායමට අභියෝගයක් වූයේ නැත. ආර්.රවීන්ද්‍ර ලකුණු 79ක්, එම්.චැප්මන් ලකුණු 62ක්, මිචෙල් ලකුණු 38ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු අවස්ථාවක හිස එසවීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 22ක් වෙද්දී පැතුම් නිශ්ශංක (01), කුසල් මෙන්ඩිස් (02), අවිශ්ක ප්‍රනාන්දු (10) සහ චරිත් අසලංක (04) ආපසු ක්‍රීඩාගාරයට යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
කමිඳු මෙන්ඩිස් (64) සමඟ එක් වූ ජනිත් ලියනගේ (22) ලකුණු 79 දක්වා මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුව ද එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රමාණවත් වූයේ නැත. ඉන් පසු පැමිණි චමිඳු වික්‍රමසිංහ මුළු ලකුණු 126ක් ව තිබිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.
ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142ක් පමණි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 113ක පහසු ජයක් අත්විය.