කෙනෙකු ගැහැනියක හෝ පිරිමයකු ලෙස හඳුනාගන්නේ ලිංගික අවයව පදනම් කරගනිමිනි. ඒ අනුව ඔවුන්ට සමාජයෙන් ඇඳුම, වර්ණය, හැසිරිය යුතු ආකාරය සියල්ලට නිර්ණායක පනවා තිබේ. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික සංස්කෘතික රටවල මේ තත්වය ඉතාමත් ඉහළින් දක්නට ලැබේ.
විශේෂයෙන් ම අතීතයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ රටවල ස්ත්‍රී සහ ගැහැනු ලෙස හැර වෙනත් කිසිම ක්‍රමයකට පුද්ගලයන් හඳුන්වා දී නැත.
බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වාදුන් අපරාධ නීතිය සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වන්නේ 1883 අංක 02 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ හා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ මෙසේ දැක්වෙයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය.
යම් පුරුෂයෙක් ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධ ව කැමැත්තේ ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තකුට අවුරුදු දහයක කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත් විය යුතුය.
දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය
ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයකු සමඟ තදබල අශෝභන ක්‍රියාවක් කරන හෝ එබදු ක්‍රියාවකට පාර්ශවකාරයකු වන හෝ එබදු ක්‍රියාවක් යම් පුරුෂයකු ලවා කරවන හෝ කරවීමට තැත් කරන පුරුෂයකු වරදකට වරදකාරයකු විය යුතු ය. ඔහුට අවුරුදු දෙක දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හේ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින් ම දඬුවම් කළ යුතුය.
නමුත් මෙම වගන්ති දෙකේ දී ම “ස්වභාව ධර්මයට විරුද්ධ ව හා තදබල අශෝභන ක්‍රියාවක් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න නිශ්චිතව දක්වා නැත.
1995 අංක 22 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත අනුව
“වයස අවුරුදු දහ අටට වැඩි තැත්තකු විසින් වයස අවුරුදු දාසයට අඩු තැනැත්තකු සම්බන්ධයෙන් සිදු කරන ලබන අවස්ථාවක අවුරුදු දහයකට නොඅඩු වූ ද, අවුරුදු විස්සක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනනාගාර ගත කිරීමකින් හා දඩයකින් එම තැනැත්තාටට දඬුවම් කරනු ලැබිය යුතුය. සිදු කරන ලද හානිය වෙනුවෙන් අධිකරණය නිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ද ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් පැනවිය යුතුය” යනුවෙන් සංශෝධනය වී ඇත.
එමෙන් ම 365(අ) වගන්තියේ සඳහන් පුරුෂයකු යන්න යම් තැනැත්තකු ලෙස විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන් අරුත් ගැන්වෙන පරිදි සංශෝධනය කර ඇත.
මෙවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාව සිය ඉතිහාසය පුරාවට ම කිසිදා සමලිංගිකත්ව පිළිනොගන්නා රටක් බවට තවමත් පත්ව තිබේ.
මානව හිමිකම් නීතීඥ ගෙහාන් ගුණතිලක පවසන්නේ, “ස්වභාවධර්මයේ පිළිවෙළට එරෙහිව” ලිංගික හැසිරීම – කලින් බ්‍රිතාන්‍ය විසින් අත්පත් කරගෙන සිටි බොහෝ ප්‍රදේශ වල ප්‍රඥප්තිවල සොයාගත හැකි බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට එහි වර්තමාන දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන බ්‍රිතාන්‍යයන්ගෙන් උරුම වන බවත්ය.
“නමුත් බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර සමලිංගික හැසිරීම් නීත්‍යානුකූලව ඉවසා සිටියා යැයි සිතිය නොහැක” යනුවෙන් ද ඔහු පැවසීය.
සමලිංගික සබඳතා සම්බන්ධයෙන් දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහයේ වරද ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව හෙළා දැක ඇති බව ඔහු පැහැදිලි කරයි.
2016 දී තීරණය කරන ලද අභියාචනය 32/2011 හි විනිසුරු බුවනෙක අලුවිහාරේ “වැඩිහිටියන් අතර සම්මුති ලිංගික සංසර්ගය රාජ්‍යය විසින් පොලිස්කරණය නොකළ යුතු බවට හෝ එය අපරාධකරණයට හේතුවක් නොවිය යුතු බවට සමකාලීන චින්තනය” පිළිගත්තේය. එම වරද තවමත් ශ්‍රී ලංකාවේ පවතින නීතියේ කොටසක් වන අතර, වැඩිහිටියන් අතර කැමැත්ත ඇතිව ලිංගික ක්‍රියාවන් සිදු වූ අවස්ථා වලදී සිර දඬුවම් නියම කිරීම නුසුදුසු බව අධිකරණය ප්‍රකාශ කළේය. ඒ අනුව නඩුවේ විත්තිකරුට එරෙහිව අත්හිටවූ සිරදඬුවමක් පමණක් නියම කිරීමට අධිකරණය නියෝග කළේය.
ලෝකයේ සෑම රටකම LGBTIQ ප්‍රජාව යනු සුළුතර පිරිසකි. ශ්‍රී ලංකාවේ මෙම සුළුතරය ඉන්දියාවේ තරම්ඉදිරිගාමී නැත.
“ඉන්දියාවේ මෙන් නොව, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පශ්චාත්-පනත් අධිකරණ සමාලෝචන බලතල නොමැත” යනුවෙන් ගෙහාන් ගුණතිලක වැඩිදුරටත් තීවේ ය. එම සන්දර්භය තුළ, 2016 නඩුවේ එය ප්‍රකාශ කිරීම ගැටලුවට තරමක් ශක්තිමත් අධිකරණ ප්‍රතිචාරයක් පිළිබිඹු කරයි – සහ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ව්‍යවස්ථාදායකයට පැහැදිලි යෝජනාවක් ඉදිරිපත් කරයි.
මේ අතර, පීඩාකාරී නීති ප්‍රතිසංස්කරණය කිරීමට මෑතකාලීන උත්සාහයන් සමාජයේ ඇතැම් කොටස්වල ප්‍රතිරෝධයට ලක් විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වරක් එවැනි යෝජනාවක් ප්‍රසිද්ධියේ ම විසිකර දැමුවේය.
එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ “ශ්‍රී ලංකාව සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම් යැයි” ඇතැම් මාධ්‍ය පවා පුළුල් ප්‍රචාරයක් ගෙන ගියේය. නමුත් එහි දී සළකා බලනු ලැබුවේ විෂමලිංගික රාමුවෙන් බැහැරව, කැමැත්තෙන් සිටින වැඩිහිටියන් අතර ලිංගික සම්බන්ධතා අතිශයින් වෙනස් කොට සැලකීමේ අපරාධකරණය අවසන් කිරීම පමණි. ” සමලිංගික විවාහ නීති ගත කිරීමේ උත්සාහයක් එම යෝජනාවේ තිබුණේ නැත.
LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන වරදාස් ත්‍යාගරාජා පවසන්නේ
“අපට ඇති ප්‍රශ්නය නම් කිසිවකුට නීතිය යටතේ නඩු පැවරීමට නොහැකි වීමයි. රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා විට ක්‍රියාකාරීන්ට නීති විරෝධී ක්‍රියාමාර්ග ගත හැකියි. සිදු වන්නේ අල්ලා ගන්නා පුද්ගලයින් බොහෝ විට ශාරීරික පහරදීම්, ලිංගික අතවර කිරීම් සහ මුදල් කප්පම් ගැනීම් වලට පවා ලක්වීමයි,” යැයි ද හෙතෙම කීවේය.
ජාත්‍යන්තර සමලිංගික හා ලෙස්බියන් මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ පවතින නීති හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් තම නිවෙස්වල සහ පොදු අවකාශයන්හි ‘පොදු පිළිසරණක් නොමැතිව’ ඉහළ මට්ටමේ ලිංගික ප්‍රචණ්ඩත්වය, චිත්තවේගීය හිංසනය සහ ශාරීරික හිංසනයන්ට ලක්ව ඇති බවයි. .
මෙය මෙරට මුහුණ දී තිබෙන බරපතල සිද්ධියකි.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් සමලිංගික සේවනය තහනම් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණ ද ශ්‍රී ලංකාවේ එවැනි තත්වයකට යාමට නොහැකි තරම් අඳුරු පසුබිමක් ඇති බව පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාව තුළ සමලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම වැළැක්වීමට ඉක්මනින් අවස්ථාවක් ලැබේ යැයි කිසිදු විශ්වාසයක් නැත.
සංස්කෘතික ප්‍රචණ්ඩත්වය LGBT+ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් අහිමිකිරීමට සහ සාපරාධීකරණයට ඉඩ සලසයි.
නැසීගිය හිටපු අමාත්‍ය මංගල සමරවීර ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ට්විටර් පණිවිඩයක් තබමින ඉන්දියාවට සුබ පතා තිබිණි.
ඔහු කියා තිබුණේ “සුබ පැතුම්… ඉන්දියාව, වික්ටෝරියානු දේශයේ පිටතට පැමිණීම ගැන” යනුවෙන් ඉන්දියාවේ අධිකරණය දුන් තීන්දුවට ඔහු ප්‍රශංසා කර තිබිණි.
වෙනිසිියුලාාවේ දේශපාන ක්‍රියාකාරිනියක වන තමාරා ඒඩ්රියන්, ජපානයේ දේශපාලන ක්‍රියාකාරිනියක වන ආයා කමිකාවා, ඉන්දියාවේ ප්‍රීතිකා යශිනි නමැති පොල්සි නිලධාරිනිය වැන්නන් හෝමෝන ප්‍රතිකාර සහ සැත්කම් මගින් පරිවර්ථනයට ලක්වූ පුද්ගලයෝය.
එසේ වුව ද ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ප්‍රථම ධූර කාලයේ දී සංක්‍රාන්ති ලිංගිකයන් ඇමෙරිකානු හමුදාවට බැඳීම තහනම් කළේය. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක පත්කළ විට බෞද්ධ භික්ෂූන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. මාතර රෝහලේ දී පිරිමි පුද්ගලයකු විසින් දරුවකු බිහිකළා යැයි මාධ්‍ය මගින් ඔහු සංක්‍රාන්තික පුද්ගලයකු යැයි සඟවමින් වැරදි සහගත පුවත් විකාශය කෙරිණි.
සංක්‍රාන්ති ලිංගිකත්වය යන්න ශ්‍රී ලංකාවේ දී ප්‍රසිද්ධියේ කතා කිරීම පවා පිළිකුල් සහගත හෝ වරදකාරී හැඟීමක් ඇතිකරවන්නක් වුව ද එය කතා නොකර සිටීම ම LGBTIQ යන සුළුතර ප්‍රජාවට කරනු ලබන විශාල වරදකි.
එම ප්‍රජාව පිළිබඳ අප සමාජයේ ඇති දැනුම ප්‍රමාණවත් නැත. ඒ නිසා ඒ ගැන සමාජය දැනුම්වත් විය යුතුය.
අපි ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන ද කතා කළ යුතුය.