ඔහුගේ ගම මතුගමය. උඩවළවේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ ඇබෑර්තුවකට ඔහු අයදුම් පත්‍රයක් යොමු කළේය.
අනභිමුඛ පරීක්ෂණ පවත්වන බව දන්වා සිටියෙන් ඔහු ඊට මුහුණ දුන්නේ මහත් උද්යෝගයෙනි. ඒ සියල්ලෙන් ඉහළම ලකුණු ලබා සමත් වූ ඔහුට අදාළ සංචාරක හෝටලයේ රැකියාව සඳහා පැමිණෙන්න යැයි දැනුම් දීමක් ලැබිණි.
මාස තුනක පුහුණු කාලයකි. ඒ කාලයේ දී දීමනාවක් ලැබේ. මාස තුනක පුහුණුවෙන් පසු සැළකිය යුතු වැටුපකට ඔහු හිමිකම් කියයි. අතිකාල දීමනා, සේවා දීමනා, සේවාස්ථ දිරි දීමනා පමණක් නොව ආහාර පාන මෙන් ම නවාතැන් පහසුකම් ද සංචාරක හෝටලයෙන් ම සපයන බව කියා තිබිණි.
රැකියාව ලැබීම නිසා මහත් උද්යෝගයෙන් පසු වූ ඔහු ඇති තරම් ඇඳුම් පැළඳුම් ද රැගෙන සිය ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ද තාවකාලිකව සමුගෙන උඩවළවේ සංචාරක හෝටලයට ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදු බැදගෙනය.
ඔහුට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබිණි. ඉතාමත් පියකරු පෙනුමකින් යුතු මේ තරුණයා තමන්ගේ හෝටලයට ගැලපෙන්නකු බව තීරණය කළ පාලන අධිකාරිය ඔහුට අවශ්‍ය සියලු දේ පෙන්වා නේවාසිකාගාරයේ නවාතැන් ගත හැකි බව ද කීවේය.
“මම ඔබතුමාට වැදගත් කාරණයක් කියන්න තියෙනවා.” තරුණයා එහි සිටි අනාගතයේ තමන්ගේ බොස්ට කීවේ ය.
“මොකක් ද ? කියන්න.”
“මගේ ජාතික හැඳුනුම්පතේ තියෙන නම වෙනස්. මම අලුතින් ජාතික හැඳුනුම්පතක් ගන්න බලාපොරොත්තු වෙනවා. මට තාම ඒකට අවසර ලැබුණේ නෑ.”
“ඇයි ඒ ?” කළමනාකාරවරයා ඇසුවේ විමතියෙනි.
“මම ඉපදුනේ ගැහැනු ළමයෙක් විදියට. ඒත් ටික කාලයක් යනවිට මට ඕන වුණා පිරිමි කෙනෙක් විදියට ජීවත් වෙන්න. මට තේරුණේ මම ගැහැනු ළමයෙක් නෙවෙයි පිරිමි ළමයෙක් කියලා. ඒ නිසා මම Transgender (සංක්‍රාන්ති ලිංගිකයෙක්) වුණා. මම දැන් පිරිමි ළමයෙක්. වෛද්‍ය උපදෙස් ගන්නවා. මට ඒකට GRC සහතිකයත් ඉක්මනට ම ලැබේවි. ඒ සහතිකය ලැබුණට පස්සේ තමයි මම පාවිච්චි කරන පිරිමි නමින් මට ජාතික හැඳුනුම්පත හදාගන්න පුළුවන්. මට එතකොට විවාහ වෙන්න පවා පුළුවන්.”
ඔහු මේ සියල්ල කියා සිටියේ තමන්ගේ ආයතනයට තම අනන්‍යතාව නොකියා සඟවා සිටීම නුසුදුසු යැයි සිතා අවංක චේතනාවෙනි.
“ඔයා පොඩ්ඩක් මෙතන ම ඉන්න. දැන් හොස්ටල් එකට යන්න එපා. මම කතා කරන්නම්.” කළමණාකරු මද වේලාවක් ඔහු දෙස විමතියෙන් මෙන් බලා සිට එසේ කියා නික්ම ගියේය.
තත්පර, විනාඩි විය, පැය දෙකක් පමණ කාලයක් ගෙවී ගියේය. මානව සම්පත් කළමනාරණ ඒකකයෙන් කැඳවීමකි.
මානව සම්පත් කළමනාකරණ ඒකකයට ගිය ඔහුට වාඩිවීමට පුටුවක්වත් ලැබුණේ නැත. එහිි සිටි ගැහැනු පිරිමි සියල්ලෝ ම ඔහු දෙස අමුතු විදියට බලති. ඔවුන් එකිනෙකාට ඉඟි කරයි. යම් යම් දේ කියයි. සිනහ සෙයි.
“අපිට ඔයාව ගන්න බෑ. ඔය වගේ කට්ටියට මේ හෝටලයේ වැඩ කරන්න බෑ. ඔයාලට තියෙන්න් මානසික ප්‍රශ්නයක්. ඔයාලා මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව ගැන දන්නේ නෑ. අපේ හෝටලය බොහොම වැදගත් විදියට පවත්වාගෙන යන එකක්. ඔයාගේ මේ හැසිරීම අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නැති ප්‍රශ්න අපිට දාගන්න බැහැ. ඒ නිසා අපේ කළමනාකාරීත්වය තීරණය කළා ඔයාව බඳවා නොගන්න. ඒ නිසා දැන්ම මෙතැනින් ඉවත්වෙලා යන්න. ඔයා ලොකු වැරැද්දක් කළේ. මම ඔයාට මිස්ටර් කියන්න ද ? මිස් කියන්න ද ? කියලවත් හිතාගන්න බෑ.”
ඔහුගේ දෑස් දෙකට කඳුළු ආවේය. නමුත් හඬා පළක් නැත. මහත් බලාපොරොත්තු පෙරදැරිව රැකියාවට පැමිණි ඔහුගේ සියලු බලාපොරොත්තු සුන් විය. අම්මාගේ වළල්ලක් උගස් කර මිල දී ගත් අලුත් ඇඳුම් කිහිපයත්, සපත්තු සහ සෙරප්පු යුගලත්, ගමන් මල්ලත් දැන් මුදල් කරන්නට නොහැකිය. අම්මාගේ වළල්ල බේරාගන්න නොහැකි වුවහොත් යන්න පමණක් ඔහු කල්පනා කළේය.
ඔහු ආපසු හැරිණි. දොර අසළට ගිය ඔහු ආපසු හැරී බලද්දී ඔහු දෙස අමුතු ආකාරයෙන් බලා සිටි සියල්ලෝම තම සිනහව තද කරගත්තේ ආයාසයෙනි.
ඔහු අප සමඟ මෙසේ කීවේය.
“අපි සංක්‍රාන්ති ලිංගිකයන් වුණේ අපේ වැරැද්දකින් නෙවිය. ඒක මානසික ලෙඩක්වත් විකෘති ආශාවක්වත් නෙවෙයි. මේ වගේ රස්සාවල්වලට මට කොයිතරම් සුදුසුකම් තිබුණත් අපිට රස්සාව දෙන්න කැමති නෑ. මම දැන් ඉදලා හිටලා ලැබෙන කුලී වැඩක් කරගෙන ජීවත් වෙනවා. දැන් ගමේ ඉන්නෙත් නෑ. ගමට ගියාම මිනිස්සු උසුළු විසුළු කරනවා. මගේ ගෙදර අයයි සමීපත ම ඥාතීන් කිහිප දෙනෙකුයි මේ තත්වය තේරුම් අරගෙන ඉන්නවා. අනිත් අය මට හිරිහැර කරනවා. ගම් පළාතේ කුලී වැඩක් කරන්න ගියත් කවුරු හරි ඇවිත් මම සංක්‍රාන්ති ලිංගිකයෙක් බව කිව්වම ඊළඟ දවසේ වැඩට එන්න එපා කියනවා.”
එහිදී වැඩි දැනුම්වත්වීම පිනිස තමන් සංක්‍රාන්තික බවත් එබැවින් උප්පැන්න සහතිකයේ නම වෙනස් බව සඳහන් කළ අතර එහිදී නේවාසිකාගාරයට නොගොස් එහිම රැඳී සිටීමට පැවසූ එම ආයතන මානව සම්පත් කළමනාකාරීත්වය අනතුරුව ඔහුට රැකියාව හෝ පුහුනුවට සම්බන්ධ කරගත නොහැකි බව පවසා ඇත..එහිදී ගිය පයින්ම හැරී නැවත පැමිනීමට සිදුවිය..රැකියාව නැතිවීම සහ එම කම්පනය නිසා මනෝසමාජීය උපදේශනය සඳහා ද යොමු විය. වෘත්තීය පුහුනුව සහිත නමුත් අද ඔහු ත්‍රීරෝද රථ පදවයි. රැකියා අවස්ථා හීන වීන නිසා.
මේ තවත් එවැනි ම කතාවකි.
දුටුවන් මන බඳනා රූපයකින් යුතු ඇය චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවයි. කුඩා කාලයේ සිට ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ඇය ඉගෙන ගත්තේ පිරිමි ළමයින් පමණක් ඉගෙනුම ලබන පාසලකය. උසස් පෙළ අවසන්කරමින් සිටින කාලයේ ඔහු ඇය වූවා ය. සංක්‍රාන්ති ලිංගිකයකු බවට පත් වූ ඇය දැන් ජීවත් වන්නේ තරුණියක ලෙසිනි. ඊට අවශ්‍ය හෝමෝන ප්‍රතිකාර ද රජයේ රෝහලකින් ලබා ගනී.
කොළඹ නගරය ආසන්න සංචාරක හෝටලයකට ඇය අයදුම්පතක් යොමු කළේ පිළිගැනීමේ නිලධාරිනියකට තිබූ පුරප්පාඩුවකටය. සුදුසුකම් පරීක්ෂා කිරීෆමන් පසු සම්මුඛ පරීක්ෂණයක් ද පවත්වා ඇය බඳවා ගැණිනි. අයදුම් පත්‍රය ඉදිරිපත් කරද්දීම ඇය තමන් පිරිමි ළමයකු ලෙස ඉපදී සංක්‍රාන්ති ලිංගිකයකු බවට පත්ව ඇතැයි ද ඒ සඳහා GRC සහතිය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් ද සම්පූර්ණ කරමින් සිටින බවත් එය ලැබුණු වහාම ජාතික හැඳුනුම්පතක් තම ස්ත්‍රී නාමයෙන් ලබා ගන්නා බවත් කළමනාකාරීත්වයට කීවේය.
එය ඔවුන්ට ගැටලුවක් වූයේ නැත.
ඇයට රැකියාව ලැබිණි.
“ඔයාගේ ලිංගික දිශානතිය අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා ඉක්මනටම අදාළ සහතිකය අරගෙන ජාතික හැඳුනුම්පත ඔයාගේ කාන්තා නමට හදාගන්න ඕන. රැකියාව ස්ථිර කරන්න ඒවා අවශ්‍යයි. එතෙක් ඔයාට දෙන්නේ පුහුණුවන පිළිගැනීමේ නිලධාරිනී තනතුර. කොයිතරම් සුදුසුකම් තිබුණත් අරක අත්‍යාවශ්‍යයි.”
ඇය ඉතාමත් සතුටෙන් සිය රාජකාරී ආරම්භ කළාය. හෝටලයේ සියලු දෙනාගේ සිත් දිනාගනිමින් පැමිණෙන සංචාරකයන්ගේ ද අවධානය සහ ගෞරවය ලබිමින් ඇය විශිෂ්ට සේවයක නිරතවූවාය.
“මම හොඳින් වැඩකරගෙන හිටියා. ඒ හෝටලයට යනකොටත් මම GRC සහතිකය අයදුම් කරලා තිබුණේ. හෝටලයෙන් කිව්වා වගේම මම ඉක්මනට මේ සහතිකය ගන්න උනන්දු වුණා. ඒත් රජයෙන් සහතිකය ලබා දීම හැමදාම කල් දැම්මා. අන්තිමේ දී දවසක් මට හැමදේම නැති වුණා.”
මාස කිහිපයකට පසු හෝටලයේ මානව සම්පත් කළමණාකරන අංශයෙන් ඇයට කැඳවීමක් ලැබිණි.
“ඔයා ඉතාමත් හොඳට වැඩ කරගෙන යනවා. ඔයාට ගොඩක් ප්‍රශංසා පවා තියෙනවා. ඒත් අපිට කිසිම දෙයක් කරන්න බැහැ. ඔයාගේ ලිංගිකත්වය අපිට ප්‍රශ්නයක්. ඔයාට GRC සහතිකය ලැබිලා නැහැනේ. අපි ඔයාට කල් දුන්නා. දැන් ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඒ සහතිකය අරගෙන ජාතික හැඳුනුම්පත හදාගත්තනම් අපි ඔයාව තියාගන්නවා. නමුත් අපේ කළමණාකාරීත්වය තීරණය කළා ඔයාව ඉවත්කරන්න. හෙට ඉදලා වැඩට එන්න එපා. අපි අලුත් කෙනෙක් බඳවාගෙන තියෙන්නේ. හෙට එයා ඇවිත් වැඩ භාර ගන්නවා.”
ඇයගේ ලෝකය මොහොතකින් කඩා වැටුණේ ඒ ආකාරයෙනි. ලැබුණු රැකියාවේ වගකීම කොතරම් හොඳින් ඉටුකළ ද ඇයට ලිංගික දිශානතිය හරස් වී තිබිණි.
ඇය මෙසේ කීවාය.
“ඇත්තට ම මම කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් හොඳට වැඩ කරගෙන හිටියා. ඒ හැමෝම මට සැළකුවේ ගැහැනු ළමයකුට වගේ. පුහුණුවන්නියක් ලෙස බඳවාගත්තු නිසා මට ලැබුණේ දීමනාවක්. ඒකත් මට ප්‍රමාණවත්. ඒත් හදිසියේ ම එයාලා මම සංක්‍රාන්ති ලිංගිකයෙක් නිසා මගේ අනන්‍යතාව ප්‍රශ්න කරලා කිසිම පූර්ව දැනුම්දීමක් නැතිව මාව එළියට දැම්මා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. මේක මගේ වරදක් නෙවෙයි.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මානව සහ සොබා සම්පත් සංවර්ධ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී.සංජීවනී මහත්මිය මෙසේ කීවාය.
“මේක ශ්‍රී ලාංකික සමාජයේ ඇති බරපතල ගැටලුවක්. කෙනෙක් ගැහැනු ළමයකු හෝ පිරිමි ළමයකු ලෙස උපත ලබන්නේ ජීව විද්‍යාත්මක සාධකයක් අනුව. එවැනි කෙනෙක් පසු කාලීනව සංක්‍රාන්ති ලිංගිකයෙක් ලෙස තමන්ගේ ලිංගික දිශානතිය වෙනස්කර ගැනීමට පෙළඹෙනවා. ඒක සිදුවන්නෙත් ජීව විද්‍යාත්මක ජානමය සාධක නිසා. නැතිව මානසික ලෙඩක්, විකෘති ආශාවන් වගේ දේවල් නෙවෙයි. නමුත් අපේ සමාජය මේ තත්වය නිවැරදිව තේරුම් අරගෙන නැහැ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, සංචාරක ක්ෂේත්‍රයේ, පාසල් පද්ධතියේ වගේ ම සමස්ත සමාජයේ ම ඉන්න උගත් බුද්ධිමත් පුද්ගලයන් පවා මේ දෙස බලන්නේ වපර ඇහින්. ඔවුන් සංස්කෘතික ලේබලය නිසා වැරදි අදහසක ඉන්නවා.”
ඇය පවසන්නේ මේ නිසා ම සංක්‍රාන්ති ලිංගිකයන්ට රැකියාවක් ලබාගැනීමේ බරපතල ගැටලුකාරී තත්වයක් ශ්‍රී ලාංකීය සමාජය තුළ පවතින බවයි. ඇතැම් සංක්‍රාන්ති ලිංගිකයන්ට රැකියාව ලැබුණත් රැකියාව කිරීමේ දී පවා විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ඇය පෙන්වා දෙයි.