spot_img
spot_imgspot_img

පාසලේ වරදින්, අධ්‍යාපනය අහිමිවන අහිංසකයන් පිරිසක්

පුවත්

විදෙස්

“මම ඉගෙන ගත්තේ ගාල්ලේ ඉතාමත් ප්‍රසිද්ධ බාළක පාසලක. පොඩි කාලේ මගේ වෙනසක් තිබුණේ නැහැ. ඒත් හයේ හතේ පන්තියට යනකොට මට හිතුණා මම ගැහැනු ළමයෙක් කියලා. මම ඉස්කෝලෙට පිරිමි ළමයෙක් වගේ ඇඳගෙන ගියාට මම ගෙදරට අක්කලාගේ කලිසම්, ටී ෂර්ට් අඳින්න ගත්තා. එයාලා මට මුල දී විහිළු කළා. පස්සේ මම තොල් පාට කරලා බැලුවා, නියපොතු පාට කළා. අක්කලගෙන් බැනුම් ඇහුවා විතරක් නෙවෙයි ගුටිත් කෑවා. ඇත්තටම මට ඕන වුණේ ගැහැනු ළමයෙක් වගේ ජීවත් වෙන්න. මම පන්තියේ කොන් වුණා. මගේ යාලුවෝ මට විහිළු කරන්න පටන් ගත්තා. එයාලා මට වද දුන්නා.” ඇය අප සමඟ පැවසුවේ තමන්ට මුහුණ දීමට සිදු වූ ගැටලු සමුදායකි.
පිරිමි ළමයකු ලෙස උපත ලැබුව ද නව යොවුන් වියේ දී ඔහුට ඇති වූ සිතිවිළි සමඟ ඔහු ඇය ලෙස ජීවත් වීමට පුරුදු වූවා ය.
“මට ලොකුම අභියෝගය ආවේ ගෙදරින්. ගෙදර අයගෙන් ඇති වෙන්න බැනුම් ඇහුවා. පස්සේ මට පාසලේ යාළුවන් උසුළු විසුළු කරන නිසා සහ මට කරදර කරන නිසා මම ඉස්කෝලේ ගියේ අකමැත්තෙන්. ටික දවසක් අම්මයි තාත්තයි මට ගගහා ඉස්කෝලෙට ඇදගෙන ගියා. මම ගැහැනු ළමයෙක් වගේ ඉන්න නිසා මගේ ම ගුරුවරු මට ලිංගික අතවර පවා කළා. ඒ වගේ ම මට අපහාස කරමින් හිංසා කරා. මට මේක ‍ලොකු මානසික වදයක් වුණා. අන්තිමේ දී මම ඉස්කෝලෙන් පැනලා ගියා ආපහු ඉස්කෝලේ ගියේ නෑ. මගේ අධ්‍යාපනය 08 වසරෙන් අවසන් වුණා.” ඔහු දැන් ය සෙහාසා ලෙස ජීවත් වන්නීය. නමුත් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වීමේ ඛේදවාචකයට ඇය මුහුණ පා සිටියි.
ඇයට ජීවත් වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නැත. ශිෂ්‍යත්ව විභාගය පවා සමත් වී ඇතත් පුරුෂ ලිංගයක් සහිතව උපත ලබා ලිංගික දිශානතිය ස්ත්‍රියක බවට තෝරාගත් ඇයට සිය අධ්‍යාපන කුසලතා ඔප් නංවා ගැනීමට මේ ශ්‍රී ලාංකික සමාජයේ දෙමාපියන් ඇතුළු ඥාතීන්, හිත මිතුරන් පමණක් නොව අකුරු කරවූ ගුරුවර ගුරුවරියන් ද ඉඩක් දුන්නේ නැත.
කුමාරගේ කතාව ඊට වෙනස් ය නමුත් එය ද එවැනි ම කතාවකි.
කුමාර දැන් විවාහ වී සිටින්නේ ශ්‍යාමලී සමගය. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳී ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරයි. ශ්‍යාමලී කුමාරව හොඳින් තේරුම්ගෙන තමන්ගේ දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී කාලය ගත කරන බැවින් ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. ඇත්තේ ආර්ථික ප්‍රශ්න පමණි.
“අපි ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන්නේ එයා කුලී වැඩ කරනවා. සමහර දවස්වලට කුලී වැඩ තියෙනවා. ඒ ඉදලා හිටලා. මමත් ඔය ගෙවල්වල වැඩ හොයාගෙන කරලා ජීවත් වෙනවා. අපි දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉන්නේ.” යැයි ශ්‍යාමලී අප සමඟ කීවාය.
කුමාර කියන්නේ මෙවන් කතාවකි.
“මම ඉපදුණේ ගැහැනු ළමයෙක් විදියට. පවුලේ දෙවැනි දරුවා. මම පොඩි කාලේ ඉදලාම ඇන්දේ මගේ අයියාගේ කලිසම්, කමිස. එයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන කොට කට්ටිය මට බනිනවා කෙල්ලෙක් වෙලා කොලු වැඩ කරන්න එපා කියලා. නමුත් මට ඕන වුණේ කෙ‍ාල්ලෙක් විදියට ජීවත් වෙන්න. මම මිශ්‍ර පාසලක ඉගෙන ගත්තේ. වැඩිපුරම මම ආශ්‍රය කළේ පිරිමි ළමයි. ඒ නිසා ම මට ගුරුවරුන්ගෙන් ගොඩක් දෝෂාරෝපණ එල්ල වුණා. හතේ අටේ පන්තියේ දී මට කිසිම හැදියාවක් සංවරකමක් නෑ කියලා සමහර ගුරුවරු පවා මට පහර දුන්නා. වැඩිහිටි පිරිමි ළමයි මාව එක්කගෙන ගිහින් මට අතවර කරන්නත් උත්සාහ ගත්තා. මම එයාලට පහර දීලා බේරිලා ආවා. එකම පන්තියේ ඉගෙන ගත්තු ගැහැනු ළමයි පවා මාව ආශ්‍රය කරන්න කැමති වුණේ නෑ. අන්තිමේ දී පාසලේ ගුරුවරු දෙමාපියන් ගෙන්වලා මාව පාසලේ තියාගන්න බෑ කිව්වා. මගේ පාසල් අධ්‍යාපනය එතනින් නැවතුනා.”
ඇය ඉගෙන ගෙන ඇත්තේ 09 වසර දක්වා පමණි. ඉන් පසු ‍ඉගෙන ගැනීමට ඇයට අවස්ථාවක් ලැබුණේ නැත.
පිරිමි ළමයකු සේ ජීවත්වීමට අවශ්‍ය යමුනා කුමාරි නම් ඇය දැන් කුමාර නමින් හඳුන්වාගනී.
සංක්‍රාන්ති ලිංගිකයකු වීමේ නීතිමය පැතිකඩ පවා හඳුනාගත් කුමාර වෛද්‍යවරයකු හමු වී ඊට අවශ්‍ය හෝමෝන ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් මේ වනවිට රැවුල පවා වැවී ස්වරූපයෙන් පිරිමියකු බවට පත්ව සිටියි.
කුමාරි දැන් කුමාර බවට නීත්‍යානුකූලව පත්ව සිටියි. සිය ලිංගිකත්වය තහවරු කරනර සහතිකය (GRC) පවා රජයෙන් ලබාගත් කුමාර දැන් ශ්‍යාමලී සමඟ නීත්‍යානුකූලව විවාහ වී සිටියි.
ගැහැනු දරුවකු ලෙස උපත ලැබුව ද පිරිමියකු සේ ජීවත්වීමට ඇති වූ කැමැත්ත නිසාම සංක්‍රාන්ති ලිංගිකයකු බවට පත්ව එය තහවරු කිරීමේ සහතිකයත් ලබාගෙන විවාහ ජීවිතයක් ද ගත කරන කුමා අපිට මෙසේ කීවේය.
“ඇත්තටම මම ඉගෙන ගන්න ගොඩක් දක්ෂ ළමයෙක්. ඒත් මම ගැහැනු ළමයෙක් ලෙස ඉපදිලා පිරිමි ළමයෙක් විදියට ජීවත් වීම නිසා මට අධ්‍යාපනය කියන දේ අහිමි වුණා. මට පාසලෙන් ඒ සඳහා අවස්ථාවක් දුන්නේ නැහැ. මගේ අධ්‍යාපපනය අතරමග කඩාකප්පල් වීම නිසා මට අන්තිමේ දී කුලී වැඩ කරලා තමයි මගේ පවුල් ජීවිතය පවත්වාගෙන යන්න සිදුවුණේ. නැත්නම් මට ලොකු ආශාවක් තිබුණා හොඳට ඉගෙනගෙන නීතිඥයෙක් වෙන්න. ඒ ආශාවල් ඔක්කෝම විනාශ වුණා.”
සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ගැටලු පිළිබඳ කතා කරද්දී ඔවුන්ට අධ්‍යාපනය අහිමිවීමේ ගැටලුව ද අවධානයට ලක්විය යුතු කරුණකි. බොහෝ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ එම සංක්‍රාන්ති බව ඇතිවීම වැඩිපුරම සිදුවන්නේ නව යොවුන් වියේ දී ය. එවිට ඇය හෝ ඔහු පාසලක අධ්‍යාපනය ලබයි. එමෙන්ම නව යොවුන් තරුණ තරුණියන් අතර ලිංගික හැඳීම්, ආදරය, සෙනෙහස වැනි අදහස් වර්ධනය වන කාලයයි. මෙම කාලයේ දී සිදුවන වෙනස්කම් නිසි පරිදි අවබෝධ කරගැනීමටත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සත්‍ය ස්වරූපය අවබෝධ කරගත නොහැකි පාසල් පද්ධතියත් නිසාම ඔවුන්ගේ අධ්‍යාපනය විනාශ වී යයි.
එක්තරා රජයේ පාසලක විදුහල්පතිවරයකු අප සමඟ මෙසේ කීවේය. ඔහු තම නම හෙළි කිරීමට අකමැති වූයේ ය.
“මගේ පාසලේ සංක්‍රාන්ති ලිංගික ළමයෙක් හිටියා. ඒ දරුවා උපතින් පිරිමි ළමයෙක්. පසුව ඔහු ගැහැනු දරුවෙක් විදියට තමයි ජීවත් වෙන්න උත්සාහ ගත්තේ. මේ දරුවාගේ වෙනස්කම් දුටු ඇතැම් වැඩිහිටි ළමයින් මේ දරුවාට නිතර නිතර කරදර කළා. නඩු විසඳලා ඉවරයක් නැහැ. මම මේ තත්වය තේරුම් අරගෙන දෙමාපියන් ගෙන්වා කිව්වත් දෙමාපියන් ඒක තේරුම් ගත්තේ නැහැ. ඔවුන් හැමදාම අර දරුවාට බැන වදිනවා මානසික ලෙඩෙක් කියලා. පස්සේ දැනගත්තා පාසලේ ම ගුරුවරු පවා මේ දරුවාට අතවර කරනවා කියලා. ඒ නඩුත් විසඳන්න උත්සාහ ගත්තා. ටික කාලයකින් මේ දරුවා පාසල් ගමන නැවැත්තුවා. මම පාසලට ගෙන්වා ගැනීමට උත්සාහ ගත්තත් ආවේ නැහැ. මේ වගේ දරුවන් ඇත්තටම පාසල් පද්ධතිය තුළ අසරණ වීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් රටේ තිබිය යුතුයි කියා සිතනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මානව හා සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී.සංජීවනී මෙසේ පවසයි.
“සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජයේ ඇති ආකල්පය ඉතාමත් සෘණාත්මකයි. ඔවුන් වරදක් කරනවා කියලා තමයි දකින්නේ. සමාජය ‍තේරුම්ගත යුතුයි මේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ වරදක් හෝ මානසික රෝගයක් හෝ නෙවෙයි. එය ජානමය තත්වයක් නිසා හටගන්නා සාමාන්‍ය දෙයක් කියලා. මේ විද්‍යාත්මක කරුණු තේරුම් නොගැනීම නිසා බොහෝ ස්ථානවල දී සංක්‍රාන්ති ලිංගිකයන් කියන අය ප්‍රතික්ෂේප වෙනවා. විශේෂයෙන් ම ඔවුන් පාසලෙන් ප්‍රතික්ෂේප වනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අහිමිවනවා. මොවුන් සමාජයේ ආන්තීකරණයට ලක් වූ පිරිසක් ඒ අයටත් මානව අයිතිවාසිකම් තියෙනවා. අධ්‍යාපනය ලැබීමේ අයිතිය එ් අතරින් මූලික කාරණයක්. අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සමස්ත රජය ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටිනවා.”
ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයන් ගැන සමාජයේ ඇති ආකල්පය කිසිසේත්ම යහපත් නොවේ. මේ නිසාම ඔවුන්ට සිය අධ්‍යාපන අයිතිය පවා අහිමි වී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!