spot_img
spot_imgspot_img

පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 2,000ක් නීති විරෝධීයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ තුළ ලියාපදිංචිවීමකින් තොරව පවත්වාගෙන යන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 1,942ක් ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.

ඇය මේ බව කියා සිටියේ හේෂා විතානගේ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහි දී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 19,099ක් ඇති බවයි. 2024 මාර්තු මස 31 වැනි දිනට ලබාගත් සංඛ්‍යාලේඛන අනුව මෙම ප්‍රමාණය දැක්වෙන අතර ඒ වනවිට ඒ අතරින් නිසි පරිදි ලියාපදිංචි කර ඇත්තේ 17,152ක් පමණි.

අමාත්‍යවරිය පවසන්නේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කිසිවක් රජයේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ය‍ා නොහැකි බවයි. නමුත් එලෙස පවත්වාගෙන යන ප්‍රමාණය 1,942ක් තරම් විශාල අගයක් ගනී.

ශ්‍රී ලංකාවේ දැනට පූර්ව ළමාවිය අධ්‍යාපනය ලබන දරුවන් සංඛ්‍යාව 502,269කි. එම සංඛ්‍යාවට පළමුවැනි අදියර සහ දෙවැනි අදියර දෙකේම දරුවෝ අයත් වෙති

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා වූ ජාතික ප්‍රමිති හඳුන්වා දී තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රමිති සඳහා වන අත්පොතක් ද නිකුත් කර ඇත. එහි දී ආරක්ෂාකාරී, පිරිසිදු, පාරිසරික අවදානම්වලින් තොර ස්ථානයක් වීම, ළමුන්ගේ ප්‍රශස්ත සංවර්ධනයට අනුබල ලබාදීම, ප්‍රමාණවත් ඉඩක් තිබීම සහ සියලු ළමයින්ගේ ඉගෙනීමට හා සංවර්ධනයට අවශ්‍ය ආංගෝපාංගවලින් සමන්විත ගොඩනැගිලි පැවතීම, අභ්‍යන්තර පරිසරය දරුවන්ගේ සංවර්ධනයට සහ ඉගෙනුම් අවශ්‍යතාවලට අනුකූල වීම, ඉගැන්වීමේ නිරත කාර්ය මණ්ඩලය අවශ්‍ය වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම, ඔවුන් යහපත් චරිතයකින් යුතු වීම සහ සෑම ළමයින් 20කට ම සුදුසුකම් ලත් එක් ගුරුවරයකු හා ඔවුන්ගේ සහාය වීමට අවශ්‍ය වෙනත් කාර්ය මණ්ඩලයක් සිටීම යන කරුණු සම්පූර්ණ කර තිබිය යුතුය.

අමාත්‍යවරිය සඳහන් කරන්නේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට ද රජයේ වැඩපිළිවෙලක් ඇති බවයි.

එම බලය ඇත්තේ ඒ ඒ පළාත් සභා වෙතය. පළාත් සභා විසින් ප්‍රඥප්ති අනුමත කරවාගෙන පෙර පාසල් අධිකාරී හෝ ඒකක පිහිටුවා මුල් ළමාවිය මධ්‍යස්ථාන ලියාපදිංචිය හා අධීක්ෂණය කරනු ලබයි. ඊට අමතරව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් විසින් ද පෙර පාසල් අධීක්ෂණය කරනු ලැබේ.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ඇමතිවරිය විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන අනුව පැහැදිළි වන්නේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නිසි පරිදි නියාමනය නොවන බවයි.  

කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ එක් ප්‍රමිතියකට අනුව නොවේ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පූර්ව ළමාවිය සංවංර්ධන මධ්‍යස්ථාන ආදී වශයෙන් නම් හැටියටත් මේවා වෙනස්කම් දක්වයි.

එහි දී මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ නියාමනය කරන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියයි, එහි ලියාපදිංචිය සහ අධීක්ෂණය පළාත් පරිවාස දෙපාර්තමේන්තුවට පැවරෙන අතර පෙර පාසල් නියාමනය වන්නේ පළාත් පෙර පාසල් ඒකක නැතිනම් අධිකාරිය මගිනි. පූර්ව ළමාවිය මධ්‍යස්ථාන මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මගින් අධීක්ෂණය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!