spot_img
spot_imgspot_img

අතේ තිබූ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) නවසීලන්තයේ දී පැවැති පළමු විස්සයි 20 තරඝයෙන් නොසිතූ ලෙස ලකුණු 08ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භය එතරම් සුබවාදී වූයේ නැත. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රොබින්සන් සා රචීන් රවින්ද්‍රා ලකුණු 21ක් වෙද්දී ආපසු හරවා යැවීමට බිනුර ප්‍රනාන්දු සමත් වූ අතර ලකුණු 65ක් වෙද්දී නවසීලන්තයේ මුල් පෙළ පිතිකරුවන් 05 දෙනාම ක්‍රීඩාගාරයේ අසුන්ගැන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

නමුත් 06 වැනි කඩුල්ලට පිටි‍යේ එක් වූ මිචෙල් බේස්වෙල් සහ ඩැරිල් මිචෙනල් ලකුණු 105ක සම්බන්ධතාවක් එකතු කළේ පන්දු 60කිනි. මේ ප්‍රහාරය හමුවේ නවසීලන්තය තම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 08ක් දැවී ලකුණු 172කිනි. එහි දී ඩැරිල් මිචෙල් පන්දු 42කින් ලකුණු 62ක් ලබාගත් අතර මි‍චෙල් බ්‍රේස්වෙල් පන්දු 33කින් ලකුණු 59ක් ලබාගත්තේය.

බිනුර ප්‍රනාන්දු තම පන්දුවාර 04 දී ලකුණු 22කට කඩුලු 02ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුලු 02ක් ද, වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 02ක් ද දවාගත්තේය.

ලකුණු 173ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් නවසීලන්ත පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිය ඉලක්කය කරා ඉතාමත් පහසුවෙන් යන ආකාරයක් පෙන්වා සිටියේය. පන්දුවාර ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් 14 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 121ක් ලෙසිනි. ඒ වනවිට තවත් පන්දු 39ක් ඉතිරව තිබූ අතර ලබාගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 52ක් පමණි. එමෙන් ම ශ්‍රී ලංකාවට කඩුලු 09ක් ම ඉතිරිව තිබිණි.

නමුත් කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ද එම පන්දුවාරයේ 05 වැනි පන්දුවේ දී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළ ජැකෝබ් ඩෆි  යැවූ ඊළඟ පන්දුවේ දී කමිඳු මෙන්ඩිස් ද පිටියෙන් ඉවත් කළේ නැවත නවසීලන්ත කණ්ඩායම නොසිතූ ලෙස තරඟයට අවතීර්ණ කරමිනි. ඉන් අනතුරුව නායක චරිත් අසලංක ලකුණු 03කට දැවී ගිය අතර එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සිටි පැතුම් නිශ්ශංක ද 19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ 05 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 153ක් ලෙසිනි. දැවී යනවිට පැතුම් නිශ්ශංක ලකුණු 90ක් රැස්කරගෙන සිටියේ පන්දු හැටකට මුහුණ දෙමිනි. එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 07ක් සහ හයේ පහර 03ක් අන්තර්ගත විය.

ඔහුගේ දැවී යාමෙන් පසු භානුක රාජපක්ෂ (08) මහීෂ් තීක්ෂණ (01) සහ වනිඳු හසරංග (05) පිටියෙන් ඉවත් කළ නවසීලන්ත ක්‍රීඩකයෝ නොතිබූ ජයග්‍රහණයක් තමන් සතුකරගත් හ.

එක් පන්දුවාරයක දී ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනකු ක්‍රීඩාගාරයට යැවූ ජැකෝබ් ඩෆී සිය පන්දුවාර 04දී ලකුණු 21කට කඩුලු 03ක් දවාගත් අතර මැට් හෙන්රි ලකුණු 28කට කඩුලු 02ක් ද සකරි ෆෝල්කස් ලකුණු 41කට කඩුලු 02ක් ද දවාගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!