මවගේ මිතුරකු විසින් එල්ල කළ පිහි පහරකින් 13 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ නිවසක උඩු මහළේ කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක බාල දියණියයි.
මියගිය දැරියගේ මව සහ ඇය සේවය කරන ආයතනයේ පුද්ගලයකු අතර සමීප සම්බන්ධතාවක් තිබී ඇති අතර ඊයේ (26) දහවල් ඔහු එම නිවසට පැමිණ එම කාන්තාවට තවත් අයකු සමඟ සමීප සම්බන්ධයක් ඇතැයි පවසමින් ආරවුලක් ඇතිකරගෙන තිබේ. මෙම ආරවුල අතරතුර එම තැනැත්තා විසින් කාන්තාවට පිහියකින් ඇනීමට උත්සාහ ගත් අවස්ථාවේ දියණියන් දෙදෙනා තම මව බේරාගැනීමට මැදිහත් වී ඇත. එම පුද්ගලයා මවට සහ දියණියන් දෙදෙනාට ද පිහි පහර එල්ල කර පසුව ඔහු ද ගෙල වැළලා ගැනීමට උත්සාහ ගෙන ඇතත් එම තැත ව්‍යර්ථ වී ඇත.
තමන් පොලිසියට භාරවන බව නිවසේ පහළ මහලේ පදිංචිකරුවන්ට පවසමින් ඔහු නිවසින් පළාගොස් සැඟවී ඇති අතර මවගේ රැකියා ස්ථානයේ තවත් පුද්ගලයකු විසින් මව සහ දියණියන් දෙදෙනා වේරහැර හමුදා රෝහලට ඇතුළත් කර ඇත. එහි දී බාල ම දියණිය මියගියාය.
පොලිසිය පවසන්නේ මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින සැකකරු මීට ඉහත අවස්ථාවක දී මහඔය ප්‍රදේශයේ දී සිදුවූ ඝාතන සිද්ධියක ද සැකකරුවකු බවයි.