spot_img
spot_imgspot_img

මාධ්‍යයට භීතිකාවක් වූ පිරිසක්, නිවැරදිව හඳුනාගනිමු

පුවත්

විදෙස්

ඉමදුව ප්‍රදේශයේ එකම නේවාසිකාගාරයක නැවතී සිටි කාන්තා තරුණ යුවළක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම දෙදෙනාගෙන් එක් අයකු පිරිමි ඇඳුමින් සැරසී පිිරිමියකු මෙන් කටයුතු කරමින් සිටි බවත්, බොහෝ දෙනකු ඔවුන් දෙදෙනා විවාහක ගැහැනියක සහ පිරිමියකු ලෙස සිතා සිටි බවත් මෙරට ජාතික පුවත්පතක් වරක් වාර්තා කළේය.

පිරිමියකු ලෙස පෙනී සිටි තරුණිය කොණ්ඩය කොටට කපා, පිරිමි ඇඳුම් හැඳ කඩයක රැකියාව කළ බවත්, අනෙක් තරුණිය නිවසට වී සිටි බවත් දෙදෙනා‍ම හමුදාවෙන් පළා ආ අය බවත් මේ ප්‍රවෘත්තියේ වැඩිදුර දක්වා තිබිණි.

2017 සැප්තැම්බර් 05 වැනි දා දඹුල්ල නගරයේ පුද්ගලික රථ ගාලක දී 33 හැවිරිදි පුද්ගලයකුට පහර දී ඝාතනය කර තිබුණු බව මෙරට ජාතික පුවත්පත්වල වාර්තා කළේ හිසට බරපතල තුවාල සහිතව මියගිය තැනැත්තා කාන්තා වෙස්ගත තරුණයකු බව ඉස්මතු කරමිනි.

එහි දී මෙරට පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වූයේ ම්ලේච්ඡ ඝාතනය නොව මියගිය තැනැත්තාගේ ලිංගික දිශානතියයි.

ඇතැම් පුවත්පත්වල මෙය “කාන්තා වෙස්ගත් තරුණයෙක් පොලුවලින් ගසා මරාදමයි” ලෙස වාර්තා කර තිබිණි. එම වාර්තාවෙන් කාන්තා වෙස්ගත් තරුණයකු මරා දැමීම සාධාරණීකරණය කරන බවක් ද බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි.

මියගිය තැනැත්තා හෝ ඉමදුවේ සිද්ධියේ දී වින්දිතයා ලෙස්බියන්, සමලිංගික, ද්විලිංගික හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු වීම නිසාම එය වඩාත් සංවේදී කරමින් වාර්තා කිරීම එවැනි පුද්ගලයන්ට කරනු ලබන බරපතල හානියක් බව මෙරට ජනමාධ්‍ය අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණකි.

මෙවැනි වාර්තා කිරීම් වෙනස් ලිංගික දිශානතියක් සහිත ආන්තික කණ්ඩායම්වලට ‍එරෙහිව වෛරය ඇතිකරන අපරාධයක් බව මාධ්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. සැබැවින් ම එය මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමකි.

මේ පිළිබඳ අදහස් දක්වවන වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලී අබේවර්ධන මෙසේ කීවාය.

“ශ්‍රී ලංකාවේ ආන්තික කණ්ඩායම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපේ ආයතනය නිරන්තර විමසිල්ලෙන් සිටිනවා. අපි ethics eye කියන සමාජ මාධ්‍ය අවකාශය තුළින් LGBTIQ ප්‍රජාව, ලිංගික ශ්‍රමිකයන්, කාන්තාවන් වැනි ආන්තික කණ්ඩායම් සම්බන්ධයෙන් වගකීමක් සහිත ආචාරධාර්මික වාර්තාකරණයක් කරන ආකාරය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කරනවා. පැහැදිලිව ම කෙනෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය කතාවට සෘජුව අදාළ වන්නේ නැත්නම් ඒ බව කිසිසේත්ම සඳහන් කළ යුතු නැහැ. එහෙම සඳහන් කරනවානම් ඒක වැරදියි.”

ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් පිළිගෙන ඇති මාධ්‍ය ආචාරධර්මවල දැක්වෙන්නේ කෙනෙකුගේ පුද්ගල ලිංගිකත්වය පිළිබඳ අගතිගාමී හෝ නින්දිත සඳහනක් වාර්තාකරණයේ දී නොකළ යුතු බවයි. එමෙන් ම පුද්ගල ලිංගික නැඹුරුව කතාවට සෘජුව අදාළ නොවන්නේ නම් කිසිසේත්ම ඒ බව කතාවේ සඳහන් නොකළ යුතුය.

මෙරට බොහෝ ජනමාධ්‍ය LGBTIQ වැනි සුළුතර කණ්ඩායම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී ආචාරධර්ම ගැන කිසිසේත් ම සැළකිලිමත් වන්නේ නැත. මේ නිසා සුළුතර ප්‍රජ‍ාවක් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී ඔවුන්ගේ අනන්‍යතාවට, වෙනස්කම්වලට, ඔවුන්ගේ සිතුම්පැතුම් සහ චර්යාවන්ට ගරු නොකර එය උලුප්පා දැක්වීමෙන් එම ප්‍රජාව හිංසාවට ලක්කරයි.

ව්‍යාපාරික අරමුණු අරබයා පවත්වාගෙන යන මෙරට ජනමාධ්‍ය බොහෝ විට ප්‍රේක්ෂකයාගේ සහ පාඨකයාගේ අවධානය වැඩිපුර ලබාගැනීම සඳහා LGBTIQ ප්‍රජාව වැනි සුළුතර කොටස් සම්බන්ධයෙන් ජුගුප්සාජනක කතා, ශෘගාරාත්මක කතා සහ ඔවුන්ගේ වෙනස්කම් වඩාත් ඉස්මතුකරන ආකාරයේ කතා සහ පුවත් නිර්මාණය කිරීමට උත්සාහ ගනී. එමගින් ඔවුන් අපේක්ෂා කරන්නේ වැඩි අළෙවියක් සහ වැඩි ලාභයක් ලබාගැනීමයි.

එවැනි මාධ්‍ය නිතරම පෙන්වාදීමට උත්සාහ ගන්නේ LGBTIQ ප්‍රජාවන් විකෘති ජීවන රටාවන් ගෙන යන බව නිරූපණය කිරීමට ය. එබැවින් එවැනි ප්‍රජාවක් සම්බන්ධ පුවත් ධනාත්මකව වාර්තා කිරීමක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ සිදුවන්නේ නැත.

මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන පවසන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ලිංගික විවිධත්වය සහ ලිංගික සුළුතරය යන තේරුම් නොගන්නා බවයි. ඔවුන්ට නිසි ගෞරවය දෙමින් ආචාරධර්ම ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

“සමස්තයක් වශයෙන් ගත් කල, අපගේ මාධ්‍ය වෘත්තිකයන් – සහ ඒ සඳහා බොහෝ ලාංකිකයන් – ලිංගිකත්වය සහ ලිංගික දිශානතිය පිළිබඳ නවීන චින්තනය ගැන දැඩි ලෙස නොදැනුවත්කම දක්වනවා. විශේෂයෙන් ම අපේ මාධ්‍ය වෘත්තිකයන් LGBTIQ යන සුළුතර ප්‍රජාව සම්බන්ධයෙන් ඇති අවබෝධය ඉතාමත් අල්පයි.”

ගැටළු සහගත වාර්තාකරණය සාමාන්‍යයෙන් පැන නගින්නේ මාධ්‍යවේදීන්ගේ සහ සංස්කාරකවරුන්ගේ නොදැනුවත්කම හෝ විවිධ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා පිළිගැනීමට ඇති අකමැත්ත හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් සහ කතුවරුන් තවමත් පිරිමි සහ ගැහැණු යන සරල ද්විමය වචන වලින් සිතන බව පෙනෙන බවත්, ලිංගික සම්බන්ධතා විෂමලිංගික ලෙස පමණක් බවත්, මෙම පරාසයෙන් පිටත ඕනෑම දෙයක් ‘අසාමාන්‍ය’ ලෙස සලකන බවත් නාලක ගුණවර්ධන පැහැදිලි කළේය.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ HIV වාර්තා වන ආකාරය තුළින් සමලිංගික භීතිකාවක් පිළිබිඹු කරන බවයි. ඊට වඩා වෙනස් වූ සංඛ්‍යාලේඛන දත්ත ඕනෑ තරම් තිබියදී පවා  ඇතැම් සංස්කාරකවරු HIV යනු සමලිංගික පුද්ගලයින් අතර ප්‍රධාන වශයෙන් පවතින රෝගයක් බව විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම කීවේය.

එක්තරා සති අන්ත පුවත්පතක සිරස්තලයක් “ලංකාවේ සමලිංගිකයෝ වැඩිවෙලා” යන අර්ථයෙන් යොදා තිබූ බවත් නමුත් කියවා බැලීමේ දී එය HIV පිළිබඳ ලිපියක් බවත් පවසන නාලක ගුණවර්ධන කියා සිටියේ සිංහල පුවත්පත් සමලිංගික භීතිකාව සමඟ මෙවැනි හානියක් කරන බවයි. සිංහල පුවත්පත් මෙරට ජන සමාජයේ පුළුල්ව පැතිරෙන බැවින් එම හානිය විශාල බව ද හෙතෙම පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ශක්තිමත් කරනවා වෙනුවට යල්පැන ගිය බ්‍රිතාන්‍ය යුගයේ හඳුන්වාදුන් යටත් විජිත නීති මගින් දැනටමත් පීඩාවට පත්ව සිටින ලිංගික සුළුතරයන් ගැන ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙහෙයවන බොහෝ පිරිස් තවමත් අවඥාවෙන් බලනවා. නූගත් කම සහ අගතිගාමී ස්වභාවය හේතුවෙන් සමාජයේ විෂමලිිංගික ආධිපත්‍යය සහ ව්‍යාප්තිය ශක්තිමත් නිසා  අපගේ බොහෝ මාධ්‍ය ශ්‍රී ලංකාවේ ලිංගික සුළුතරය වූ LGBTIQ  ප්‍රජාවට වෙනස් කොටස සැළකීම නිරන්තර දක්නට ලැබෙනවා. ගැඹුරින් මුල් බැසගෙන තිබෙන මේ ගැටලු විසඳීමට මාධ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.”

“කණගාටුවට කරුණ වන්නේ, සෑම කෙනෙකුටම ගෞරවාන්විතව ජීවත් විය හැකි වඩාත් අර්ථවත් සමාජයක් සඳහා මාවත විවර කිරීමට අපගේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකයන්ට, ඔවුන්ගේ අගතීන් ඉවත් කිරීමට ධෛර්යයක් හෝ අනුකම්පාවක් ඇති බවක් මට පෙනෙන්නේ නැහැ.” යැයි මාධ්‍යවේදී ශාන් විජේතුංග කීවේය.

LGBTIQ ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීමට අසමත් වීම, ඔවුන්ට ඇසීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන බැවින්, එයම වෙනස් කොට සැලකීමක් බව ඔහු පෙන්වා දෙයි.

මෙය සිංහල පුවත්පත් වල පමණක් නොව ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් පළවන පුවත්පත් වල ද සිදු වූ සංසිද්ධියක් බව ශාන් විජේතුංග සිය අත්දැකීමෙන් පැහැදිලි කරයි. අඳුරු දැක්මක් තිබියදීත්, මෙම විෂය සම්බන්ධයෙන් අවංකභාවය රකින මාධ්‍ය ආයතන කිහිපයක් සිටින බව ද ඔහු පැවසීය.

“මහජන මතය ගොඩනැගීමේදී මාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සුළු ජාතික කණ්ඩායම්වලට ඔවුන්ගේ කතා ප්‍රකාශ කිරීමට එය ප්‍රමාණවත් අවස්ථාවක් ලබා දෙන බවක් මට පෙනෙන්නේ නැහැ.” ශ්‍රී ලංකාවේ මාධ්‍ය දැන් එහි මූලික වගකීම් අමතක කර ඇති බවක් පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසීය.

මේ තත්වය බරපතල ගැටලුවකි. සිවිල් සමාජ සංස්ථාව මෙන් ම සිවිල් සමාජයට තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන මාධ්‍ය කර්මාන්තයේ නිරතවූවන් ද මෙම සුළුතර ප්‍රජාව ගැන දැනුම්වත් විය යුතුය.

LGBTIQ වැනි සුළුතර ප්‍රජාවකට සාමාන්‍ය මිනිසුන් සේ ජීවත් වීමට සුදුසු ශ්‍රී ලාංකීය ජන සමාජයක් ගොඩනැගෙනු ඇත.

ආන්‍යා විපුලසේන විසින් Sunday Observer පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!