ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී තිබූ ගිනි අවි අතරිනේ මෙතෙක් නැවත රජයට භාර නොදුන් ගිනි අවි සියල්ල 2025 ජනවාරි මස 20 වැනි දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් නොවැම්බර් 21 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නේය. පසුව එම දිනය 2024 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා දීර්ඝ කළේය.
යම් අයකුට එම ගිනි අවි තවදුරටත් අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂි පැහැදිළි කරමින් ඔක්තෝබර් 30 වැනි දිනට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබිණි.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසන්නේ ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බවයි.
ජීවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක්ගිනි අවියක් පමණක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එලෙස ගිනිඅවි ලබාදීමද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකරන බව සඳහන්ය.