spot_img
spot_imgspot_img

පරිසරය ආබාධිත නිසා, ඡන්ද අයිතිය අහිමි මිනිස්සු

පුවත්

විදෙස්

සිරංගිකා ලොකුකරවිට

“අපි ආබාධිත නෑ. පරිසරය තමයි ආබාධිත” යැයි ආබාධිත ප්‍රජාව කියන කතාවකි. මෙය සැබැවින් ම සත්‍යයක් බව මෙවර මැතිවරණයේ දී ද තහවරු විය.

ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ පැරෑලිය ජිනරතන මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයයි. ‍රෝද පුටුවකින් පැමිණි පුද්ගලයකු විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වී ඡන්ද මධ්‍යස්ථානය පැවැති ශාලාව වෙත පැමිණියේ ය. ඔහුට රෝද පුටුවේ පැමිණීමට කිසිදු බාධාවක් තිබුණේ නැත.

නමුත් ඡන්දය ප්‍රකාශ කරන තැනට පඩි දෙක තුනක් නැග යා යුතුය. ඒ නිසාම ඔහුට එහි යා නොහැකිය. තවත් හතර දෙනකු උදව්කර ඔහුගේ රෝද පුටුව ඔසවා ශාලාවෙන් තැබූූ විට ඔහු ඇතුළට ගියේය.

රෝද පුටුව නිසා ඔහුට තමන්ගේ කටයුතු කරගත හැකි වුව ද ඡන්ද මධ්‍යස්ථානයේ තිබූ බාධාව ඔහුට හරස්විය. ඉන් ප්‍රත්‍යක්ෂ වූයේ ආබාධිත පුද්ගලයන් තමන්ගේ කාර්යයන් ඉටුකර ගැනීමට යෑමේදී ඔවුන් ජීවත්වන පරිසරයයේ ආබාධිත බව හේතුවෙන් විවිධ අපහසුතා වලට ලක්වන බවයි.

උපතට පෙර හෝ උපතින් පසු ඇතිවන යම් කායික මානසික ඌනතාවයක ප්‍රතිඵලයක් වශයෙන් තම අවශ්‍යතාවන්, කොටසක් හෝ තමා විසින් තමා උදෙසා ඉටුකර ගැනීමට නොහැකි තත්වය ආබාධිත බව ලෙස සැළකේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුවේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් 15%ක් හෙවත් බිලියනයක් ආබාධිත වූවන්ය. එමස්ම එම වාර්තා පෙන්වාදෙන්නේ ලොව පුරා අබාධිත ජනගහනය අඛණ්ඩව වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි. ජනගහන වර්ධනයට සාපේක්ෂව සිදුවන පරිසර දූෂණය සහ වයස්ගත වීම මෙයට ප්‍රධාන හේතු ලෙස ඔවුන් සඳහන් කර ඇත. ලෝකය හා සැසදීමේ දී ශ්‍රී ලංකාවේ තත්වය තරමක් යහපත් වුව ද විශේලේෂකයන් පවසන්නේ 2030 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 22%ක් වයස අවුරුදු 65 ඉක්මවූවන් බවට පත්වන බැවින් ඒ අතරින් වැඩි පිරිසක් ආබාධිතයන් බවට පත්වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආබාධ වර්ගකරණය කොටස් 07කින් සමන්විත වෙයි. අංග චලන අපහසුතා ඇති, දෘෂ්‍යාබාධිත, ශ්‍රවනාබාධිත සහ කථනාබාධිත, වටහාගැනීමේ ඌනතා හෝ විශේෂ හැසිරීම් ඇති, මනෝ සමාජයීය ආබාධ සහිත, අපස්මාරය සහිත සහ බහු ආබාධ ලෙස ඒවා හඳුන්වයි. සංඛ්‍යාලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ කවර හෝ ආබාධයක් සහිත පුද්ගලයෝ ලක්ෂ 18ක් පමණ සිටිති. නමුත් මෙම දත්ත ඉදිරිපත් කරන සමීක්ෂණය කර ඇත්තේ 2012 දී ය.

එම සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 8%ක ප්‍රමාණයකි. ආබාධිත පුද්ගලයන්ගෙන් 57%ක් පිරිමි පුද්ගලයන්ය. 47%ක් කාන්තාවෝය.

මෙවැනි තත්වයක් තුළ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍යව තිබේ. 1948 දී එක්සත් ජාතීන් විසින් සම්මත කරගත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය අනුව සෑම මනුෂ්‍යයකු ම සමාන අයිතිවාසිකම් ලැබිය යුත්තෝය. මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව විවිධ අණ පනත් සම්මත කරගනිද්දී ශ්‍රී ලංකාව 1996 අංක 28 දරණ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සම්මත කර ගත්තේය. 2007 වසරේ ශ්‍රී ලංකාව ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට ද අත්සන් කර තිබේ. එපමණක් නොව ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ලේකම් කාර්යාලයක් ද පිහිටුවා ඇති අතර ඔවුන් ආරක්ෂා කරන නෛතික ප්‍රතිපාදන රැසක් ද ක්‍රියාමත්මක වේ.

එහෙත් ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අප රටක් හා සමාජයක් හැටියට සාධාරණ අවධානයක් දක්වා නොමැති බව විමසිල්ලෙන් බලන විට පෙනී යන කරුණකි. 2012 වර්ෂයෙන් පසු ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු සමීක්ෂණයක් සිදුකර නොමැතිවීම ද එම ප්‍රජාව පිළිබඳ අප රටේ ඇති අඩු සැළකිල්ලේ තරම පෙන්වයි. 

ලොව පුරා ආබාධ සහිත පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ඇතුළු ඡන්ද හිමිකම් අත්පත්කර ගැනීමේ නිරන්තර අරගලයක නිරතව සිටති. සංවර්ධිත රටවල් මේ සම්බන්දව විවිධ මැදිහත්වීම් සිදුකරන අතර තුන්වන ලෝකයේ මැදි ආදායම් ලබන රටක් වන ශ්‍රී ලංකාව ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට විවිධ සාධනීය පියවර අනුගමනය කරමින් සිටියි. කෙසේවුවද හැමදාමත් චෝදනා එල්ලවන අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණවල දී ආබාධිත පුද්ගලයන්ට ඡන්දය භාවිතා කිරීමේ සාධාරණ පහසුකම් නොලැබෙන බවයි. පැරෑලියේ ජිනරතන විද්‍යාලයේ දී අප දුටුවේ එවැනි දසුනකි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ දේශපාලන සහ ඡන්ද අයිතීන් පිළිබඳ දැඩි කතාබහක් ගොඩනැගෙද්දී දෘෂ්‍යාබාධිතයකු වන සුගත් ද සිල්වා මහතා මෙවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේ ය. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ සුගත් තමන් මෙරට ආබාධිත ප්‍රජාවට වඩාත් යහපත් පරිසරයක් ගොඩනැගීමට කැපවන බව කියා සිටියේය.

ඔහු මෙසේ කියයි.

“ආබාධිතයන්ටත් පරමාධිපත්‍ය අයිතිය තියෙන්න ඕනේ. ස්වාධීනව ගිහින් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව අත්‍යාවශ්‍යයි. මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව කිසියම් සාධනීය පියවර ඒ සඳහා අරගෙන තිබුණත් තවමත් එය ප්‍රමාණවත් නැහැ. දෘෂ්‍යාබාධිත තැනැත්තකුට ඡන්දය භාවිතා කිරීමේ දී ක්‍රම තුනකින් කැමති ක්‍රමයක් තෝරාගත හැකියි. නිලධාරියකුගේ සහය ගැනීම, වෙනත් විශ්වාසවන්ත කෙනෙකුගේ සහය ගැනීම සහ කාර්ඩ්බෝඩ් ස්පර්ශ රාමුව යන අවස්ථා තිබෙනවා. මේවා ගැන දැනුම්වත් කළත් තවමත් ආබාධිත අය ඒවාට හුරු වී නැහැ. නමුත් වෙනත් රටවල මීට වඩා පහසු ක්‍රම අනුගමනය කරනවා. ඡන්ද මධ්‍යස්ථාන තිබෙන පාසල් සහ ආගමික ස්ථානවලට බොහෝවිට ප්‍රවේශවීමත් අපහසුයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වෙනත් රටවල් ආදර්ශයට අරගෙන ආබාධිතයන්ට සිය ඡන්දය භාවිතා කිරීමට පහසුකම් සළසන්න කියලා.”

ඔහු පවසන්නේ මේ වනවිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්ක වන ආබාධිත හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ක්‍රමය යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බැවින් එය සියලු ආබාධිත පුරවැසියන්ට ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

කුරුබවින් යුතු පුද්ගලයන් හඳුන්වන්නේ “මිහිමත් ප්‍රජාව” නමිනි. ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන් ‍ආකාරයෙන් ම ඡන්ද මධ්‍යස්ථානයට ප්‍රවේශවීමට හැකියාව තිබුණ ද ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙරට මැතිවරණ නීතිය ම හරස් වී තිබේ.

මැතිවරණයක දී ඡන්දය සළකුණු කරන ස්ථානය සහ ඡන්ද පෙට්ටිය තැබිය යුතු උස පිළිබඳ නිර්ණායක නීතිගත කර ඇත. නමුත් උසැති මේසයක් මත ආවරණයක් තුළට වී සිය ඡන්දය සලකුණු කිරීමට තරම් ඔවුන්ගේ උස ප්‍රමාණවත් නැත. තමන් සළකුණු කළ ඡන්දය පෙට්ටියට බහාලීමේ දී ද ඔවුන්ට මේ ගැටලුවට මුහුණ දීමට සිදුවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙහිවල පදිංචි දර්ශනී නානායක්කාර මහත්මිය මෙසේ කීවාය.

දර්ශනී නානායක්කාර මහත්මිය

“මම මිහිමත් කාන්තාවක්. අපේ ප්‍රජාව 10,000ක් පමණ ඉන්නවා. ඡන්ද භාවිතා කිරීමේ දී අපිට උස නොමැතිකම බරපතල ගැටලුවක් වෙනවා. ඡන්දය සලකුණු කරන මේසයත් උසයි, ඡන්ද පෙට්ටියත් උසයි. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල දී අපේ අයට ඡන්දය ලකුණු කිරීමට තව බංකුවක් ලබා දී තිබුණා. ඇතැම් තැන්වල එවැනි පහසුකමක් නැහැ. දැනුම්වත් කිරීමේ වැඩසටහන්වල දී මැතිවරණ කොමිසම කිව්වා ඡන්ද පෙට්ටිය පහළින් තියනවා කියලා. නමුත් එසේ සිදුකර තිබුණේ නැහැ. ‍අපේ ඡන්දය අපිට වටිනවා. එය ප්‍රකාශ කිරීමට පහසුකම් සළසා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

ටී.එස්.කුමාර මහතා චලනාබාධිත පුද්ගලයෙකි. ගාල්ලේ පදිංචි ඔහු ඡන්ද ප්‍රකාශ කරන්නේ කලේගාන සම්පත් මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද ඡන්ද මධ්‍යස්ථානයේ දී ය. ඡන්දය භාවිතා කිරීමට ගිය ඔහුට ආබාධිත බව නිසාම පැයකට ආසන්න කාලයක් එළියේ රැඳී සිටීමට සිදුව ඇති අතර අවසානයේ තම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට ද කතා කිරීමට සිදුව තිබිණි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පෙනීගිය කරුණ වූයේ ආබාධ සහිත ජනතාවගේ කටයුතු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ නොදැනුවක් භාවයයි.

ටී.එස්.කුමාර මහතා

“මට ඡන්දය දාන්න තිබුණු ඡන්ද මධ්‍යස්ථානයට කන්දක් නැගගෙන යන්න වෙනවා. ඒ වගේ ම එහි ශාලා දෙකක් තියෙනවා. මට ආබාධිත හැඳුනුම්පත ලැබුණා. මැතවරණ කොමිෂන් සභාව කිව්වේ මේ හැඳුනුම්පත තියෙන අයට ඡන්ද පෝළිම අසළට ම වාහනයකින් යා හැකියි කියා. ඒ නිසා මම ත්‍රී රෝද රථයක රෝද පුටුව දාගෙන එහි ගියා. නමුත් සම්පත් මධ්‍යස්ථානයේ ගේට්ටුවේන් ඇතුළට ත්‍රී රෝද රථය ගන්න පොලිස් නිලධාරීන් ඉඩ දුන්නේ නැහැ. එයාලට එවැනි උපදෙසක් ලැබී තිබුණේ නැහැ කිව්වා. ඡන්ද ස්ථානාධිපති හමුවෙන්න අවස්ථාව දුන්නෙත් නැහැ. මට මේ අවසරය ගැනීමට පැය භාගයකට වඩා ගියා. මැතිවරණ කොමිෂන් සභාවටත් කතා කළා. පසුව අවසර අරගෙන ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වුණාම මට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන ශාලාවට යාමේ දී අඩි එකහමාරක පමණ උස බැම්මක් තිබෙනවා. මට එතනින් එහාට රෝද පුටුවෙන් යන්න බැහැ. මට සහායකයෙක් හිටියෙත් නෑ. නැවත ඡන්ද ස්ථානාධිපතිට කතා කරලා මේ ගැන කියන්න වුණා. එවිට එතුමා මට නියමිත ඡන්ද පත්‍රිකාව අනෙක් ශාලාවට රැගෙන ඇවිත් මගේ ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව ලබා දුන්නා. මේ තත්වයන් පිළිබඳ රජය අවධානය යොමුකළ යුතුයි. ඒ වගේම නිලධාරීන් නිසි පරිදි දැනුම්වත් කළ යුතුයි.”

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ දී ද මෙවැනිම තත්වයක් අපට දැකගත හැකිවිය. එහි ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබුණේ බිම්  මහළේ පිහිටි රථ ගාලේය. නමුත් ආබාධිත පුද්ගලයන් පැමිණෙන වාහන කිසිවකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති ගේට්ටුවෙන් ඇතුළුවීමට පොලිස් නිලධාරීන් ඉඩ දුන්නේ නැත.

බලපිටිිය, වලගෙදර, මන්තින්දාරාම පුරාණ මහා විහාරයේ ඡන්ද මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉතාමත් සාධනීය පියවරක් ගෙන තිබිණි. ඉහළ කඳු ගැටයක පිහිටි එම විහාරස්ථානයේ වෙනදා ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කරන ගොඩනැගිල්ලට උසැති පඩිපෙළක් නැග යා යුතුව තිබිණි. මෙවර එය වෙනස් කර විහාරස්ථානයේ ප්‍රවේශ ගේට්ටුව ආසන්නයේ ම තාවකාලික මඩුවක ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබූ බැවින් ආබාධිත පුද්ගලයන්ට එය ඉතා පහසුවක් විය.

මන්තින්දාරාම පුරාණ විහාරයේ ස්ථාපිත කර ඇති තාවකාලික ඡන්ද මධ්‍යස්ථානය

ආබාධිත පුද්ගලයන්ට ඡන්දය භාවිතා කිරීමේ අපහසුතා මඟහැරවීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමේ දී කොමිෂන් සභාව කියා සිටියේ ආබාධිත හැඳුනුම්පත, දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ස්පර්ශක පුවරුව, මිහිමත් පුරවැසියන්ට අමතර උසක් ලබාදීම වැනි කටයුතු සාර්ථක වූ බවයි. එමෙන් ම සෑම ඡන්ද මධ්‍යස්ථානනයක ම එක් නිලධාරියකුට සංඥා භාෂව පිළිබඳ පුහුණුවක් ලබා දී ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීමට අවස්ථාව සැළසූ බවත් ඡන්ද මධ්‍යස්ථානයේ ඇති උපදෙස් සංඥා භාෂාවෙන් ප්‍රදර්ශනය කළ බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වාදී ඇති හැඳුනුම්පත

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ කීවේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා

“ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න අවශ්‍ය සෑම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. ඇතැම් ස්ථානවල පොඩි පොඩි ගැටලු මතුවූ අවස්ථා තිබෙනවා. එම ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ පරමාධිපත්‍ය අයිතිය තහවරු කිරීම සඳහා ඉදිරියේ දී මේ පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා.”

ලොවපුරා රටවල් රැසක ආබාධිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවරු කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇමෙරිකාව 2002 වර්ෂයේ දී ආබාධිත පුද්ගලයන්ට ඡන්ද හිමිකම නෛතිකව තහවරු කර ඇති අතර ඕස්ට්‍රේලියාව දෘෂ්‍යාබාධිත සහ අර්ධ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට දුරකථන ඇමතුමකින් ඡන්ද ලියාපදිංචිය හිමිකර ගැනීමට පහසුකම් සළසා ඇති අතර දුරකථනයෙන් ම තම ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව සළසා ඇත.  යුරෝපා සංගමයේ රටවල්කිහිපයක්  ද, සියෙරාලියොන්, නයිජීරියාව, ලයිබීරියාව, බුරුන්ඩි, මාලි, කැමරුන්, ඝානාව වැනි රටවල් ද ආබාධිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවරු කර ඇති රටවල් ලෙස හැඳින්විය හැකිය.

ඇතැම් රටවල ආබාධිත පුද්ගලයන් තම රටේ පාලකයන් අබාධිතයන්ට ඡන්ද අයිතිය අහිමිකර ඇතැයි නඩු පවරා ඒවායින් ජයග්‍රහණය කළ අවස්ථාව ද වාර්තා වේ.

ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල් ද ආබාධිතයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට වැදගත් පියවර ගත් රටවල් ලෙස හැඳින්විය හැකිය.

ඉන්දියාව 2016 දී ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත සම්මත කරගැනීමෙන් පසු ආබාධ සහිත තැනැත්තන් සඳහා ඡන්ද නාම ලේඛනයේ සිය ආබාධිත තත්වය ද සමඟ ලියාපදිංචිවීමට එරට මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව ලබා දී තිබේ. ආබාධිත බව තහවරු කරන ලේඛන සහිතව මැතිවරණ කොමිෂමේ වෙබ් අඩවිය මාර්ගයෙන්, ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට යාමෙන්, ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ජංගම කඳවුරුවලට යාමෙන් හෝ මැතිවරණ නිලධාරියකු තම නිවසට ගෙන්වා ගැනීමෙන් යන කවරාකාරයකින් වුව ද ඉන්දියාවේ ආබාධිත ජනතාවට ඡන්ද හිමිකම ලබාගැනීමේ අවස්ථාව ලබා දී ඇත. නමුත් ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට එවැනි අවස්ථාවක් මෙතෙක් උදාවී නැත.

2011 අංක 28 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත ආබාධිත සහිත තැනැත්තන්ගේ පුළුල් දේශපාලනික සහභාගීත්වය සහතික කිරීමට සමත්ව තිබේ ද යන්න ගැටලුවකි. ආබාධ සහිත ඡන්ද දායකයන්ට ඡන්දයට සතියකට පෙර තම ආබාධිත බව තහවරු කර ඡන්දය දැමීමේ දී ප්‍රවේශ පහසුකම්, සහායකයන් ලබාගැනීම ආදියට ලියාපදිංචි වීමට සිදුවන අතර මෙවර ආබාධිත හැඳුනුම්පත් නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය මගින් එම අවශ්‍යතා ඉටුකර ගැනීම තරමක් පහසුකර තිිබේ.

මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නීතිඥ තුෂානි කන්දිල්පාන මහත්මිය මෙසේ කීවාය.

රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නීතිඥ තුෂානි කන්දිල්පාන මහත්මිය

“මැතිවරණ නිරීක්ෂණයේ දී අප දුටුවා මැතිවරණ කොමිෂන් සභාව ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සාධනීය පියවර කිහිපයක් අරගෙන තිබුණ බව, එහෙත් ඒවා ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන 10%කවත් ආබාධිත ප්‍රවේශයන් නැහැ. ඇතැම් ස්ථානවල ආබාධිතයන් රැගෙන එන වාහන මධ්‍යස්ථානයේ පෝළිම අසළට ගන්න දුන්නේ නැති බවත් වාර්තා වුණා. අපි මෙහිදී විශේෂයෙන් ම අවධානය යොමු කළ යුතුයි ආබාධිත අයට ප්‍රමුඛතාව ලබා දීම ගැන. ඒ වගේම දොරටුවකින් රෝද පුටුවක් ඇතුළට රැගෙන යාමේ දී ඒ සඳහා ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි. නමුත් අපේ රටේ එම සීමිත පහසුකම් පවා ලබා දීම ඉතා දුෂ්කර කාර්ය පටිපාටියක් අනුව තමයි සිදු කෙරෙන්නේ. ‍මේ රටේ මැතිවරණ නීතිය ආබාධිත ප්‍රජාව ඡන්දය භාවිතා කිරීමට දිරිමත් කරන ආකාරයෙන් සකස් කළ යුතුයි. මිහිමත් ප්‍රජාවට අඩු උසකින් ඡන්දය සළකුණු කරන්නත්, ඡන්දය පෙට්ටියට බහාලීමේ දී එය පහසුවෙන් කරන්නත් හැකිවිය යුතුයි. අපි අදහස් කරනවා දැනට ඉන්දියාවේ ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ආදර්ශයට අරගෙන ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියේ සංශෝධන ඉදිරිපත් විය යුුතුයි කියා. මෙය ‍සිදු නොවන තුරු මේ ආබාධිත ප්‍රජාවගේ ඡන්දය අනවශ්‍ය බලපෑම්, පළෙඹවීම් සිදුවෙනවා. බොහෝ වෙලාවට අපේක්ෂකයන් සංවිධානාත්මකව ආබාධිත අය ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඇවිත් ඔවුන්ගේ ඡන්දයට බලපෑම් කරන ආකාරය මෙවර ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දීත් නිරීක්ෂණය කළ හැකි වුණා. මැතිවරණ නීති සංශෝධනයෙන් ආබාධිතයන්ට තවදුරටත් පසුකම් සැපයීම තුළින් එම බලපෑම් පවා නතර කළ හැකියි.”

මේ අනුව ආබාධ සහිත පුද්ගලයන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියෙන් දුරස් වී පැවතීමට විවිධ සමාජ හා පාරිසරික සාධක හේතු වී ඇති බව පෙනී යයි. එමෙන්ම ආබාධ සහිතවූවන්ගෙන් බහුතරයක් තමා සතු දේශපාලන අයිතීන් පිළිබඳව නොදැනුවත් භාවයක් ද පෙන්නුම් කරයි. මෙම තත්ත්වයන් මගහරවා ගැනීමට ශක්තිමක් නීති පද්ධතියක් මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගතයුතු අතර ලෝකයේ රටවල් අනුගමනය කරන දියුණු ක්‍රමවේද හා පියවර අධ්‍යයනය කිරීම ද අත්‍යාවශ්‍ය බව රජය සහ මැතිවරණ කොමිසම ඇතුළු අදාල බලධාරීන්ට අප අවධාරණය කර සිටිමු.

ආබාධිත ජනතාව රජයෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිින්නේ තමන් තවත් අසරණයන් හෝ කිසිවක් කරකියාගත නොහැකි පුද්ගලයන් පිරිසක් සේ නොසළකන ලෙසයි. සමාජයෙන් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ, ඔවුන්ට ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය පරිසරය ගොඩනගා දීමයි. එමගින් ආබාධ සහිත ජනතාවගේ හිමිකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයේ මැතිවරණ ක්‍රියාවලියක් සඳහා දොරටු විවර වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!