“මම ගියේ නගරයේ ප්‍රසිද්ධ බාලක පාසලකට. යාලුවෝ එක්ක ඉන්නකොට මට නිතරම හිතුනා මම ගැහැනු ළමයෙක් කියලා. ඒත් හැමෝම මම පිරිමි ළමයෙක් කියලා කියනවා. මේක මට මහා වදයක් වුණා. ගෙදර අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් කවුරුවත් මම ගැහැනු ළමයෙක් කියලා හිතනවට කැමති වුණේ නෑ. මම මගේ යහළුවන් අතර විහිළුවක් බවට පත්වුණා. හැමෝම මට මානසිකවත්, කායිකවත් වද දෙන්න පටන් ගත්තා. ගුරුවරු පවා මට ලිංගික හින්සන කරන්න පටන් ගත්තා. අන්තිමේ දී මම හතේ පන්තියේ දී ඉස්කෝලේ ගමන නැවැත්තුවා. ටික දවසක් අම්මයි තාත්තයි මට ගහලා බැනලා ඉස්කෝලේ යැව්වත් මට තවදුරටත් පිරිමි ළමයෙක් විදියට ජීවත් වෙන්න බැරි වුණා. මම දැන් ජීවත් වෙන්නේ ගැහැනු කෙනෙක් විදියට. අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් හැමෝගෙන්ම ඈත් වෙලා.”
ලිංගිකත්වය තීරණය වන්නේ ජීව විද්‍යාත්මකව පමණක් ද ? මේ ගැටලුවට විසඳුමක් තිබේ ද ? කෙනෙකු උපත ලබද්දී පුරුෂ ලිංගයක් තිබේනම් පුරුෂයකු ලෙසත් ස්ත්‍රී ලිංගයක් තිබේ නම් ගැහැනු ලෙසත් වර්ගීකරණය කරයි. ඉන් පසු සමාජය ඔවුන්ට පුරුෂ සහ ස්ත්‍රී ලෙස සැළකීමට පටන් ගනී.
පිරිමි ළමයකුට නිල් පැහැති ඇඳුම් ලබා දෙද්දී ගැහැනු ළමයකුට රෝස පැහැති ඇඳුම් ලබා දෙයි. පිරිමි ළමුන්ට සෙල්ලම් බඩු ලෙස කාර්, තුවක්කු, බැට් බෝල දෙද්දී ගැහැනු ළමුන්ට බෝනික්නන්, මල් පොකුරු, සෙල්ලම් වළං ආදිය ලබා දේ.
පිරිමි ළමුන්ගේ කොණ්ඩය කොටට කපා කලිසම් කමිස අන්දන සමාජය, ගැහැනු ළමුන්ගේ කොණ්ඩය දිගට වවා, ගවුම් අන්දයි. පිරිමි ළමයකු කොට කලිසම අදිද්දී කිසිත් නොකියන වැඩිහිටටියෝ ගැහැනු ළමයකු කොටස කලිසමක් ඇන්දවිිට විලි සංගයක් නැතැයි කියති.
මේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වය මත පදනම්ව සමාජය විසින් ඔවුන් වෙත ලබාදෙන ස්ත්‍රීපුරුෂ සමාජභාවයයි.
නමුත් එය ඊට වඩා වෙනස් නොවන්නේ ද ? කෙනෙකුට උපතින් ලැබෙන ලිංගිකත්වය හෝ එම ජීව විද්‍යාත්මක සාධක මත සමාජය විසින් පවරා ඇති ලිංගිකත්වය නොගැලපෙන බව හෝ නැතිනම් තමන් ඊට වඩා වෙනස් ලිංගිකත්වයක් ඇති පුද්ගලයකු බව හැඟෙන්නේ නම් ඔවුන්ට එසේ වෙනස් ලෙස ජීවත් වීමට නොහැකි ද ?
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට තමන් උපන් ලිංගභේදය හෝ උපතේදී පවරා ඇති ලිංගභේදය තමන්ට නොගැලපෙන බව හැඟේ. ඔවුන් ගැහැණු ලෙස ඉපදී පිරිමි හෝ පිරිමි ලෙස ඉපදී ගැහැනු ලෙස හෝ ජීවත් වීමට කැමැත්තෙන් පසුවෙයි. නැතිනම් එසේ ජීවත්වීමට අවශ්‍ය අය වෙයි.
සංක්‍රාන්ති ලිංගිකයන් ගැන සමස්ත සමාජයේ ම වර්තමානයේ දැඩි කතාබහක් ඇති වුව ද මෙය අලුත් තත්වයක් හෝ මිනිසුන්ගේ විකෘති වීමක් නොවේ. ලෝක ඉතිහාසය පුරාම සංක්‍රාන්ති ලිංගිකයන් සිටි බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ, ඔවුන්ගේ මානසික සහ කායික තත්වයන් පිළිබඳ, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ අතීතයේ මෙතරම් කතා බහක් ඇති වී නැත.
සංක්‍රාන්ති ලිංගිකයකුට තමන්ට උපතින් උරුම වූ ජීව විද්‍යාත්මක ලිංගිත්වයට වඩා වෙනස් ලෙස දැැනීම හෝ සිතිවිලි ඇතිවීම සාමාන්‍ය දෙයකි. සංක්‍රාන්ති ලිංගිකයන් සාමාන්‍ය නොවූව ද වෙනස්කම්වලට මුහණ දීමට සිදු වුව ද සැබැවින් ම ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස සමාජයේ ජීවත් විය යුතුය. අන් පුද්ගලයන් ද ඔවුන්ට සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය ලෙස ජීවත්වීමට අවස්ථාව සළසා දිය යුතුය.
සංක්‍රාන්ති ලිංගිකයන් දෙමාපියන්, වැඩිහිටියන්, තරුණයන්, නව යොවුන් වියේ පුද්ගලයන්, සිසු සිසුවියන්, විවිධ වෘත්තිකයන් ලෙස ද සිටිය හැකියි. එබැවින් කෙනෙකුගේ ලිංගික අනන්‍යතාව පිළිබඳ ක්ෂණිකව තීරණය කළ හැකි ද යන්න ගැටලුවකි. ඔවුන්ගේ ඇඳුමෙන්, කතා බහෙන්, හැසිරීමෙන්, කරන ක්‍රියාවන්ගෙන් ලිංගිකත්වය ක්ෂණිකව තීරණය නොකළ යුතුය. ඔවුන්, තම අනන්‍යතාව ගැන කිසිවෙකුට පැවසිය යුතු නැත. තමන් කවුරුන්ද යන්න අන් අය සමඟ බෙදා ගැනීම ඔවුන්ට වැදගත් විය හැකි වුව ද, එය සමාජයේ පිළිකුළට සහ දෝෂ දර්ශනයට ලක්විය යුතු නැත.
සංක්‍රාාන්ති ලිංගිකයා යන්න මේ සමාජය තේරුම්ගත යුතුය. ඔබේ දරුවකු, සහෝදරයකු, සහෝදරියක, හවුල්කරුවකු, පවුලේ ඥාතියකු, මිතුරකු, ගුරුවරයකු, ආයතන ප්‍රධානියකු ඕනෑම අයකු සංක්‍රාන්ති ලිංගිකයකු විය හැකියි.
එවැනි අයකු ඔබ සමඟ සිටීනම් ඔවුන්ට වෙනස් කොටසට සැළකිය යුතු නැත. ඒ ඔබේ සමාජයේ ම ජීවත්වන තවත් සාමාන්‍ය පුද්ගලයකු පමණි. වෙනස ඇත්තේ ඔවුන්ට උපතේ දී ජීව විද්‍යාත්මකව උරුම වූ ලිංගිකත්වයෙන් බැහැරව වෙනස් සමාජභාවයකින් යුතුව ජීවත් වීමයි.
එවැනි පුද්ගලයන් සමාජය තුළ දී සාමාන්‍ය ලෙස පිටතට පැමිණ ජීවත් වීම ඔවුන්ට සහනයක් සහ සතුටටක් ඇති කරයි. නමුත් ඇතැම් අයට පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් බොහෝ අභියෝගවලට මුහුණ දිය හැකිය, නැතහොත් ඔවුන්ගේ නිවෙස්වල හෝ පාසැලේ ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දිය හැකිය.
“අනුකම්පාව අපට අවශ්‍ය දෙයක් නොවේ” භූමි හරේන්ද්‍රන් පෙන්වා දෙයි. අපි සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව පිළිගෙන ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සහාය දිය යුතුයි. ඔවුන්ව වෙනස් පුද්ගයන් ලෙස කොන් කළ යුතු අය ලෙස නොසැලකිය යුතු අතර ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට ඉඩ හැරිය යුතුය. ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න වැදගත් ලෙස සැලකිය යුතු අතර ඔවුන්ට සාමාන්‍ය පුරවැසියන්ට හිමි සියලු වරප්‍රසාද, අයිතිවාසිකම් හිමිකර දිය යුතුය. ඔවුන්ට තවත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස එදිනෙදා ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩනැගිය යුතුය. මේ සඳහා අවශ්‍ය වන්නේ සියලු සමාජ සංස්ථාවන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් දැනුම්වත් වීමයි.
මානව සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී.සංජීවනී මෙසේ පවසයි.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ නීති පනත් කෙටුම්පත් සම්මත කළ යුතුයි. ඇතැම් නීති පවා වෙනස් කරන්න අවශ්‍යව තිබෙනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා විස්තීර්ණ රැකවරණය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ ස්ථාපිත කළ යුතුයි. සංක්‍රාන්ති පුද්ගලයින්ට ජීවත්වීම වඩාත් පහසු කිරීම සඳහා පහසුකම් සැකසීම වැඩිදියුණු කිරීම සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ ජීවිත යහපත් කිරීමට පියවර ගැනීමේ අවශථාවක් තිබෙනවා. සංක්‍රාන්ති ලිංගික තරුණ තරුණියන්ගේ අපකීර්තිය සහ වෙනස් කොට සැලකීම් පිළිබඳ ගැටළු විසඳීමට හැකියාව වර්ධනය කරන්න අවශ්‍යයි. සමාජය තුළ ඔවුන්ගේ කතා බෙදා ගැනීමට සහ මිථ්‍යාවන් සහ වැරදි තොරතුරු ආමන්ත්‍රණය කිරීමට සමාජ මාධ්‍ය වේදිකා වඩාත් ඵලදායි ලෙස භාවිතා කිරීමට අප කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. ඔවුන් තනි වූ හෝ කොන් වූ පුද්ගලයන් නොවන බව අපි ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි.”
ඔබ සමඟ සිටින අයකු සංක්‍රාන්ති ලිංගිකයකු යැයි ඔබ දැනගෙන හෝ හඳුනාගෙන තිබේ නම්, ඔබ ඔහුට හෝ ඇයට ඔහු ලෙස හෝ ඇය ලෙස ජීවත් වීමට ඉඩ දිය යුතුය. ඔවුන් ද මනුෂ්‍ය්‍යන් ලෙස සැළකීමට ඔබ පුරුදු විය යුතුය. ඔවුන් ද මනුෂ්‍යයෝ ය.