ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගත් බවත් සාම්පූර් සූර්ය විදුලි ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයීම සඳහා සහාය වීමත් ඉන්දියාව කටයුතු කරන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබේ.
එමෙන් ම දෙපාර්ශවය ම ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ETCA ගිවිසුම ළඟා කර ගැනීමට ප්‍රයත්න දරනු ඇතැයි ද අගමැති මෝදි සඳහන් කර ඇත.
ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශයේ මෙලෙස දැක්වෙයි.
මේ දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් වටිනා ප්‍රදාන සහ ණය පහසුකම් ලබා දී තිබෙනවා.
අප ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 සඳහාම සහය ලබා දී තිබෙනවා.
අපගේ ව්‍යාපෘතීන් සැමවිටම අපගේ හවුල්කාරී රාජ්‍යයන්ගේ සංවර්ධන කැමැත්තන් මත පදනම්ව තෝරා ගෙන තිබෙනවා.
මෙම සංවර්ධන සහය ඉදිරියට ගෙනයමින් අප මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය සඳහා සංඥා පද්ධතිය සහ කන්කසන්තුරය වරාය නවීකරණය කිරීම සඳහා ප්‍රදාන ලබා දීමට තීරණය කර තිබෙනවා.
අපගේ අධ්‍යාපන සහයෝගීතාවයේ කොටසක් ලෙස යාපනයේ සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනමනවා.
මීළඟ වසර පහ තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් 1500ක් ඉන්දියාව තුළ පුහුණුව ලබනු ඇති.
නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් හා සමගාමීව ඉන්දියාව කෘෂිකර්මය, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ ධීවර යන ක්ෂේත්‍රයන් සඳහා ද සහය ලබා දෙනු ඇති.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා හවුල් වනු ඇති.
මිත්‍රවරුනි,
ජනාධිපති දිසානායක මැතිතුමා සහ මා අපගේ ආරක්ෂක අභිලාෂයන් එකිනෙක හා සම්බන්ධ වී ඇති බවට දැඩි එකඟත්වයක පසු වෙනවා.
අප ආරක්ෂක සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවයකට පත් වීමට තීරණය කර තිබෙනවා. ජලශාස්ත්‍රීය විද්‍යාව සම්බන්ධයෙන් ද සහයෝගයෙන් කටයුතු කිරීමට අප එකඟ වී තිබෙනවා.
කොළඹ ආරක්ෂක පර්ෂදය කලාපීය සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් බව අප විශ්වාස කරනවා.
මේ යටතේ සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම, සයිබර් ආරක්ෂාව, ජාවරම්කරණය සහ සංවිධානාත්මක අපරාධ පාලනය සහ මානුෂීය සහය සහ ආපදා සහන වැනි කරුණු සඳහා සහයෝගය ව්‍යාප්ත කෙරෙනු ඇති.
මිත්‍රවරුනි,
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා අපගේ ශිෂ්ටාචාර තුළ මුල් බැසගෙන තිබෙනවා.
ඉන්දියාව පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේදී ශ්‍රී ලංකාව එය සැමරීම සඳහා අප සමඟින් එක් වුණා.
බෝට්ටු සේවාව සහ චෙන්නායි – යාපනය ගුවන් ගමන් සම්බන්ධකතා සංචාරක කර්මාන්තය ඉහළ නංවා ඇති සේම සංස්කෘතික සබඳතා ශක්තිමත් කර තිබෙනවා.
නාගපට්ටිනම් – කන්කසන්තුරය බෝට්ටු සේවාව සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව රාමේශ්වරම් සහ තලෙයි මන්නාරම අතර ද බෝට්ටු සේවාවක් ඇරඹීමට අප එක්ව තීරණය කර තිබෙනවා.
බෞද්ධ සංචාරක ස්ථාන සහ රාමායනය හා සබැඳි ශ්‍රී ලංකාවේ ස්ථාන හරහා සංචාරක කර්මාන්තයේ සුවිසල් විභවතාවය සාක්ෂාත් කරගැනීමට ද කටයුතු කෙරෙනු ඇති.
මිත්‍රවරුනි,
අපගේ ධීවරයන්ගේ ජීවනෝපාය හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් ද අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මෙම කරුණ සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු යැයි අප දෙපළම එකඟ වුණා.
අප ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීම සහ සංහිඳියාව පිළිබඳව ද සාකච්ඡා කළා.
ජනාධිපති දිසානායක මැතිතුමා එතුමාගේ අන්තර්ග්‍රහණීය දෘෂ්ටිකෝණය පිළිබඳව මා දැනුවත් කළා.
ශ්‍රී ලංකා රජය දමිළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
එසේම අප, ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සිය කැපවීම ඉටු කරනු ඇතැයි ද අපේක්ෂා කරනවා.
මිත්‍රවරුනි,
ජනාධිපති දිසානායක මැතිතුමා ජාතිය ගොඩනැගීමට ගන්නා ප්‍රයත්නයන්හිදි ඉන්දියාව විශ්වාසනීය සහ රඳා පැවතිය හැකි සහකරුවෙකු ලෙස සිටින බව මා එතුමාට සහතික වුණා.
නැවතත් ජනාධිපති දිසානායක මහතා සහ එතුමාගේ නියෝජිත පිරිස ඉන්දියාව වෙත උණුසුම් අයුරින් පිළිගන්නවා.
එතුමාගේ බුද්ධ ගයා සංචාරය සම්බන්ධයෙන් සුබ පතන අතර එය ආධ්‍යාත්මික ශක්තියෙන් සහ අභිවෘද්ධියෙන් පිරි සංචාරයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
බොහොම ස්තුතියි.