සජීව විජේවීර
“පිරිමි පෝළිම අර පැත්තේ. ඔයා එතනින් ඇතුළු වෙන්න” ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයකු දෙස බැලූ පොලිස් නිලධාරියා තම ගිනි අවිය සමබර කරගනිමින් කීවේය.
ඒ අනුව ගොස් ඔහු ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වූයේ ය. ඔහු දිගුකළ ඡන්ද හිමිකම් පත්‍රය සහ හැඳුනුම්පත පරීක්ෂා කළ නිලධාරිනිය මෙසේ කීවාය.
“ඔයා අරන් ඇවිත් තියෙන්නේ අක්කාගේ හරි නංගීගේ හරි කාර්ඩ් එකයි හැදුනුම්පතයි. මේ ගැහැනු නමක් නේ. මේකට ඡන්දය දාන්න බෑ.”
“නෑ ඕක මගේ නම. ඕක හරි. මට ඡන්දය දාන්න අවස්ථාවක් දෙන්න.”
නිලධාරිනිය අසළ සිටි තම සහෝදර නිලධාරිනියට යමක් කීවාය. ඔවුන් දෙදෙනා ඉඟි කර කට කොනින් සිනා සෙද්දී ඡන්ද පොළ නියෝජිතයෝ ද යම් යම් දේ මුමුණමින් සිනාසුනහ.
“ඔයා අනුන්ගේ ඡන්ද කාර්ඩ් එකක් අරගෙන ඇවිත්, වෙන ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරමින් ඡන්දය දාන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරන්න ඉඩ දෙන්න බෑ.”
ඡන්ද මධයස්ථානය පිටත රැඳී සිටි ග්‍රාම නිලධාරියා මේ සිද්ධිය දුටුව ද සිද්ධිය දෙස බලා සිනාසෙනවා හැර වෙනත් මැදිහත්වීමක් කළේ නැත.
අවසානයේ ඔහුට සිදු වූයේ තමන්ගේ ඡන්ද අයිතිය අහිමිව එතැනින් පිටතට යාමටය.
මෙය ශ්‍රී ලංකාවේ පවත්වන සියලු මැතිවරණවල දී මෙරට එක්තරා පිරිසකට මුහුණදීමට සිදුවන ඛේදනීය තත්වයක සත්‍ය උදාහරණයකි. එලෙස ඡන්ද අයිතිය අහිමිව ගියේ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකුටය.
“මම ජීවත් වෙන්නේ පිරිමි කෙනෙක් විදියට. මම දැන් සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස හෝමෝන ගන්නවා. ඒ නිසා මගේ රැවුල පවා වැවෙනවා. ස්වරූපය සහ අදින පළඳින විදිය පිරිමි කෙනෙක්. මම හිතන්නේ පතන්නේ පිරිමි කෙනෙක් විදියට. ඇත්තටම මම පිරිමියෙක්. ඒ නිසා පොලිස් නිලධාරියා තීරණය කරනවා මම යන්න ඕන පිරිමි පෝළිමේ කියලා. ඒත් මට රජයෙන් ජාතික හැඳුනුම්පත දීලා තියෙන්නේ මම පාසල් යන කාලයේ උප්පැන්න සහතිකේ තිබුණු ගැහැනු නමට. ඒ නිසා තවත් නිලධාරිනියක් තීරණය කරනවා මේක වැරදි හැඳුනුම්පතක්. වැරදි ඡන්ද කාර්ඩ් එකක් ඒ නිසා මට ඡන්දය දාන්න දෙන්න බැහැ කියලා. ගමේ ග්‍රාම නිලධාරී මා ගැන හොඳින්ම දන්නවා. නමුත් එයා මේකට මැදිහත් වෙලා මගේ අයිතිය දිනා දෙන්න උත්සාහ ගන්නේ නෑ. මේ රටේ මිනිස්සු අපේ අයිතිවාසිකම් තේරුම් ගන්නේ කවදාද කියලා මට හිතාගන්න බැහැ.” ජෛව විද්‍යාත්මකව ගැහැනු ළමයකු ලෙස ඉප දී මේ වනවිට පිරිමි පුද්ගලයකු ලෙස ජීවත්වන හෙතෙම තමන් හඳුන්වාගන්නේ චිරත් නමිනි. චිරත්ට මෙන් ම තවත් බොහෝ දෙනකුට මැතිවරණවල දී මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව ඇත.
මෙවැනි අයට ඡන්ද මධ්‍යස්ථානයට යාමට පවා අවස්ථාව ලැබෙන්නේ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කරගැනීමට අවස්ථාව ලැබුණොත් පමණි.
යම් පුද්ගලයකු තමන්ට උපතේ දී උරුමවන ජීව විද්‍යාත්මක ලිංගක ස්වභාවයෙන් වෙනස්ව සංක්‍රාන්ති ලිංගිකයකු බවට පත්වීම ආරම්භ වන්නේ භද්‍ර යෞවනයට පා තැබීමේ දී ය. එවැනි අයකු උපතේ දී හිමිවන ලිංගිකත්වයට වඩා වෙනස්ව ගැහැනියක හෝ පිරිමියකු ලෙස කිසියම් අනන්‍යතාවක් ගොඩනගාගෙන ඒ අනුව සමාජයේ කාලයක් ගත කර තිබීම නිසා කායික, මානසික අඩත්තේට්ටම්වලට ගොදුරක් බවට පත්වෙයි. එය බොහෝ විට සිදුවන්නේ නිවසේ දී සහ පාසලේ දී ය.
“පවුලේ නම්බුව”, “ලෝක අපවාද”, “සම වයස් මිතුරු මිතුරියන්ගේ හිංසාවන්” , “සමීපතමයන්ගේ ලිංගික ආශාවන්” වෙනුවෙන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ කායික සහ මානසික හිංසනයට ගොදුරු වෙති. ඒ නිසාම බොහෝ දෙනකුට නිවසින්, ගමෙන් පළා යාමට සිදුවන අතර ඔවුන් ජීවත්වන්නේ තම ඥාතීන්ගෙන් සහ සමීපතමයන්ගෙන් ඈත්ව වෙනත් ආගන්තුක ප්‍රදේශවලය.
ඒ නිසාම එවැනි පුද්ගලයන්ගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වන්නේ නැත.
කුරුණෑගල උපත ලැබූ ආනන්ද එවැනි අයෙකි. ඔහු දැන් ඇය ලෙස ගාල්ලේ ජීවත් වන්නීය. ඇයට ඡන්ද අයිතිය අහිමි වී තිබෙන්නේ මේ ආකාරයෙනි.
ආනන්ද
“මම දැනට අවුරුදු 15කට පමණ ඉස්සර කාන්තාවක් ලෙස ජීවත් වෙන්න පුරුදු වුණා. එහෙම හැඩගැහුණු මුල්ම කාලේ මගේ මුල් ම ඡන්දය දාන්න ගමේ ඡන්ද මධ්‍යස්ථානයට ගියේ කාන්තාවන් අදින වගේ දිග කලිසමක් සහ ටීෂර්ට් එකක් ඇඳගෙන. මම ටිකක් කොණ්ඩය වවලා හිටියේ. ඒ වගේම ඇහි බැම හදලා, කන් විදලා හිටියා. මම මගේ උපන් නම ඇති ජාතික හැඳුනුම්පත අරගෙන පිරිමි පෝළිමේ ගියාම ඡන්ද මධ්‍යස්ථානයේ හිටපු අය මගේ දිහා අමුතු විදියට බලලා මේ ඔයාම ද කියා අසමින් මාව රස්තියාදු කළා. ගමේ මාව දන්න කෙනෙක් මැදිහත් වෙලා කිව්වා ඒ එයා ඉන්න විදිය කියලා. ටික වෙලාවකට පස්සේ තමයි මට ඡන්දය දාන්න අවස්ථාව ලැබුණේ. මම එදා හිතාගත්තා නැවත ඡන්දය දාන්නේ නෑ කියලා.”
සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් තමන්ගේ තත්වය නිසි පරිදි තේරුම්ගෙන තමන් කැමති පුද්ගලයකු ආකාරයෙන් ජීවත්වීම සඳහා හෝමෝන ප්‍රතිකාර ලබාගනිමින් අනන්‍යතාව ගොඩනගාගෙන සිටිය ද එම තැනැත්තා තාත්තාට හෝ මවට දියණියක් ලෙස උපත ලැබුවෙක් නම් අම්මාට හෝ තාත්තාට ‘ඇය’ ‘ඔහු’ වන්නේ නැත. ‘ඇය’ ‘ඔහු’ යැයි පිළිගන්නට පවුල් සංස්ථාව කැමති නැත. ඒ නිසා ම ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ නම ලියවෙන්නේ ඇය ලෙසිනි.
සුමිත් මහේන්ද්‍ර
“මම ඡන්දය දාන්න ගියාම මගේ හැඳුනුම්පතයි, ඡන්ද කාර්ඩ් එකයි දුන්නම හැමෝම මගේ දිහා අමුතුවිදියට බලලා හිනා වුණා. මට එතැන ඉන්න එක එක්කෙනා ඉස්සරහ මගේ මුඛ ආවරණය ගලවන්න සිදුවුණා. එක්කෙනකුට මාස්ක් එක ගලවලා පෙන්නුවානම් ඇති. නමුත් එයාලා මාව විහිළුවකට ගත්තා. නිලධරීන් හතර දෙනෙක් මගේ මුඛ ආවරණය ගලවන්න කියලා බලපෑම් කළා. මම ඡන්දයේ වටිනාකම දන්න නිසා ඒ අණ පිළිපැදලා මුඛ ආවරණය ගැලෙව්වා. මගේ ඡන්දය සලකුණු කරලා ඡන්ද පෙට්ටියට දැම්මට පස්සෙත් නිලධාරියෙක් ඇවිත් මට මාස්ක් එක ගලවන්න කිව්වා. මට හොඳට තේරුණා එයාලා මගේ ස්වරූපය නිසා මාව හිංසනයට පත්කරමින් සතුටක් ලැබුවා කියලා. මම පිරිමි ළමයෙක් හැටියට ඉපදුණේ. ඒත් මම දැන් ගැහැනු කෙනෙක් විදියට ජීවත් වෙන්නේ. මම රතුපාට ගවුමක් ඇදගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගියේ. එතන මාව දන්න අය ඡන්ද පොළ නියෝජිතයන් හැටියට හිටියා. ග්‍රාම නිලධාරී හිටියා. ඒ කවුරුවත් මාව දන්නවා මෙයා ඉස්සර ඉදලා අදින්නේ මේ විදියට කියලා ඒ කවුරුවත් කිව්වේ නැහැ. ඡන්ද නාම ලේඛනයේ මගේ පිරිමි නමක් තියෙන්නේ දැන් ජීවත් වෙන්නේ ගැහැනු කෙනක් විදියට. මගේ හැඳුනුම්පත තියෙන්නේ ඒ පිරිමි නමින්.” එසේ කීවේ ගාල්ලේ පදිංචි කාන්තාවක ලෙස දිවිගෙවන අයෙකි.
ගාල්ලේ කුෂී මෙසේ කීවාය.
කුෂ්
“මම පිරිමි කෙනෙක් හැටියට ඉපදුණේ. දැන් ජීවත් වෙන්නේ ගැහැනු කෙනෙක් විදියට. මට ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නෑ. අම්මා මා ගැන හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. අම්මා මගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ පවා ලියනවා. නමුත් ඡන්දය දාන්න යන්න බැහැ. එතැන දී අපි විහිළුවට ලක්වෙනවා. එක එක දේවල් කියනවා. ඒ නිසා මම කවදාවත් ඡන්දය දාන්න ගිහින් නැහැ. නමුත් ඡන්දය පාවිච්චි කරන්න මමත් කැමතියි. අපිට ඒ අවස්ථාව දෙන්න කියා ඉල්ලා සිටිනවා.”
වැලිගම ප්‍රදේශයේ ජීවත්වන සුපුන්ට ඡන්ද අයිතිය අහිමි වී ඇත්තේ සිය මව විසින් ඡන්ද හිමි නාමලේඛනයේ පැරණි නම යේදීම හේතුවෙනි.
“මම උපතින් ගැහැනු ළමයෙක්. නමුත් මම පිරිමි ළමයෙක් හැටියට ජීවත් වෙන්න පටන් අරගෙන අදාළ සහතික පවා ගත්තා. මට පිරිමි නමින් ජාතික හැඳුනුම්පත පවා තියෙනවා. ඒත් අම්මා ඡන්ද හිමි නාමලේඛනයේ මගේ නම ලියා තියෙන්නේ මගේ උප්පැන්න සහතිකේ තිබුණු නමින්. ඒ නිසා මට ඡන්දය දාන්න නොහැකි වුණා.”
ගාල්ලේ මුස්ලිම් පවුලක දියණියක ලෙස උපත ලබා දැන් කොළඹ නගරයේ තරුණයෙකු ලෙස දිවි ගෙවන ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ගම්බිම් හැර දමා පළා ගියේ තමන්ට කැමති ලෙස ජීවත්වන්නට තමන්ගේ පරපුරේ ඇත්තන්ගෙන් ඉඩක් නොලැබෙන බැවිනි.
“මම ඡන්දය දාන්න තියා ගමටවත් යන්නේ නෑ. ඒත් අම්මා, තාත්තා, අයියලා අක්කලා, නංගිලා මල්ලිලා එක්ක ජීවත් වෙන්න හරිම ආසයි. ගමෙන් ආවට පස්සේ කවදාවත් ගමේ ගිහින් නැහැ. අපේ කට්ටිය කවුරුවත් මාව තේරුම් ගන්නේ නෑ. ගෙදර ගියොත් මට ගුටිකන්න වෙනවා. මට හැමදාම කිව්වේ කොල්ලෙක් විදියට හැසිරෙන්න එපා කියලා. ඒත් මම මනසින්, ක්‍රියාවෙන් කොල්ලෙක්. ඡන්ද අයිතිය විතරක් නෙවෙයි මට මගේ සියලු අයිතිවාසිකම් දැන් අහිමිවෙලා තියෙන්නේ.”
සංක්‍රාන්ති ලිංගිකයන් තම හැඳුනුම්පතේ පෙනුමට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමකින් ජීවත් වීමත්, “ඇය” “ඔහු” වීම සහ “ඔහු” “ඇය” වීමත් යන කරුණු හේතුවෙන් මෙලෙස ඡන්ද අයිතිය පවා අහිමිවේයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් සංක්‍රාන්ති ලිංගිකයෙකි. සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සමාජ ගැටලු පිළිබඳ පර්යේෂණ පවා සිදුකර ඇති හෙතෙම මෙසේ කියයි.
“අපේ රටේ ඡන්දය අයිතිය ලැබෙන්නේ පවුල, නිවස යන සංකල්පය මත ඉදගෙන. නමුත් සංක්‍රාන්ති ලිංගකයන් බොහෝ විට තනියම ජීවත් වෙනවා. මේ විදියට තනියම ජීවත්වන එවැනි අයට ඡන්දය කියන නෛතික අයිතිවාසිකම ලබා දීමට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතුයි. තනි පුද්ගලයෙක් හැටියට ලියාපදිංචි වෙන්න අවස්ථාව දෙනවානම් මේ ගැටලුව නිරාකරණය වෙනවා. ඒ වගේම රජයෙන් නිකුත් කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීමේ සහිතකය (Gender Register Certificate) අනන්‍යතා සහතිකයක් ලෙස පිළිගත යුතුයි. ඡන්ද මධ්‍යස්ථානයට ගියාම එතැන ඉන්න නිලධාරීන් හයියෙන් නම කියලා කෑ ගහනවා. නමේ ස්වරූපයත් රූපයේ ස්වරූපයත් වෙනස් වූ ගමන් මේ අය එතැන දී හිංසනයට ලක්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා. එයාලටත් ආත්ම ගරුත්වයක් ඇතිව ඡන්දය භාවිතා කිරීමේ හැකියාව සුරක්ෂිත කරන්න ඕනේ.”
එමෙන් ම කථිකාචාර්ය වරදාස් පවසන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ගැහැනු පරිමි වශයෙන් පෝළිම් දෙකක් පවත්වාගෙන නොයා එක් පෝළිමක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නේ නම් මේ ගැටලුව යම් තරමකින් නිරාකරණය කරගත හැකිවනු ඇති බවයි. සංක්‍රාන්ති ලිංගිකයන්ට කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් සකස් කළ හැකිනම් ඔවුන් ඡන්ද මධ්‍යස්ථානයේ දී හිංසාවට ලක්වීම වැළැක්විය හැකි බව ද ඔහුගේ අදහසයි.
මෙවැනි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට තම අනන්‍යතාව සහතික කරගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමේ වැඩපිළිවෙලක් රජයෙන් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඔවුන්ට අනන්‍යතා සහතික පවා ලබාගැනීමට හැකියාව ඇත. තමන්ට අවශ්‍ය සංක්‍රාන්ති සමාජභාවයකින් ජීවත් වෙමින් කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු අදාල වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ නම් එම අනන්‍යතා සහතිකය Gender Register Certificate ලබාගැනීමට හැකියාව ඇත.
නමුත් සමාජය එය පිළිගන්නේ ද යන්න ගැටලුවකි. ඔවුන්ට විවිධ හිරිහැර, අවමාන සහ ලැජ්ජාවන්ට ලක්වන්නට සිදුවන්නේ ඔවුන්ගේ අනන්‍යතාව පිළිගැනීමට හෝ නැතිනම් ඔවුන් ද මනුෂ්‍යයන්යැයි පිළිගැනීමට අපේ ජන සමාජය තවමත් සූදානම් නොමැතිවීම හේතුවෙනි.
එවැනි හේතූන් නිසාම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ තම ගැටලු විඳ දරාගනිමින් තම පවුලෙන්, ගමෙන් ඈත් වී සමාජයෙන් සැඟවී ජීවත් වෙති. ඒ නිසාම මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අතිශය දුෂ්කර වී ඇත.
සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාකරන මානව සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී.සංජීවනී මෙසේ කීවාය,
මානව සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී.සංජීවනී
“මේ අය තමන්ගේ අනන්‍යතාව නීත්‍යානුකූලව වෙනස් කරගන්නා තුරු ඔවුන්ට දැඩි අවදානමක් තිබෙනවා. රජයේ ආයතනවලින් පවා ඔවුන්ට නිතර නිතර අපහසුතා විඳින්න සිදු වෙනවා. ඔවුන් හිංසනයට ලක්වීම, දෝෂ දර්ශනයට ලක්වීම වගේම සමච්ඡලයට ලක්වීම නැවතිය යුතුයි. මේ සඳහා සමාජය දැනුම්වත් කිරීම ඉතාමත් වැදගත්. අපි හිතනවා පුරවැසියකුට ලැබෙන අයිතිවාසිකම් අතර ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් කියලා. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. නමුත් ඔවුන් ඡන්ද මධයස්ථාන වැනි අනන්‍යතා තහවරු කළයුතු ස්ථානයකට නොයන්නේ ඔවුන්ට සිදුවිය හැකි හිංසනය නිසා. මේ අය නිවසින් පිටත ජීවත්වන නිසා ම ඔවුන්ට ඡන්ද අයිතිය අහිමිවෙලා. සමහර අයගේ ගෙවල්වලින්ම කියනවා අනේ ඡන්දය දාන්න නම් එන්න එපා මිනිස්සු අපිටත් හිනා වේවි කියලා. මේ අයත් රටේ පුරවැසියන්, ඒ නිසා අනෙකුත් පුරවැසියන්ට තියෙන අයිතිවාසිකම් මේ අයටත් හිමි විය යුතුයි. මැතිවරණයකදී අනෙකුත් ඡන්ද දායකයන්ට වගේම බාධාවකින් තොරව ගිහින් ඡන්දය පාවිච්චි කිරීමේ ඉඩකඩ තියෙන්න ඕනෑ.”
නිසි වයස සම්පූර්ණ වූ සියලු පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවිය යුතුය. ඔවුන් අදින ඇඳුම කාන්තා ඇඳුම් ද පිරිමි ඇඳුම් ද ඔවුන්ගේ විලාසිතා කවර ආකාරයේ ද ? ජීවත්වන්නේ ගැහැනියක ලෙස ද පිරිමියකු ලෙස ද යන්න මත ඡන්දය දැමීමේ අයිතිවාසිකම අහිමිකිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. නමුත් මෙරට සමාජය තුළ තවමත් ඔවුන්ගේ ඡන්ද අයිතිය නිසි පරිදි තහවරු වී නැත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ඒකනායක මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“ ජාතික හැඳුනුම්පතේ පුරුෂ සහ ගැහැනු වශයෙන් සඳහන්ව තිබිය දී ගැහැනු නමක් තිබෙන කෙනෙක් පුරුෂයකු ලෙස පැමිණීමේ දී සහ පුරුෂ නමක් ඇති තියෙන කෙනෙක් ගැහැනු ලෙස පැමිණීමේ දී යම් යම් ගැටලු ඇතිවූ අවස්ථා වරින් වර වාර්තා වෙනවා. නමුත් අපි සියලු නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරනවා. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන්න කියලා. මෙලෙස ඇතිවිය හැකි ගැටලු අවම කරලා තියෙනවා. ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වීමට ඔවුන් ගෙදර ම අම්මා තාත්තා එක්කම ඉන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට තමන් ඉන්නා තැනකින් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි විය හැකියි. මේ ගැටලු දැන් අවම කරලා තියෙන්නේ.”
ශ්‍රී ලංකාවේ භාවිතයේ පවතින දණ්ඩ නීති සංග්‍රහය සහ අනිකුත් නීති අවභාවිතා කරමින් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අපහසුතාවට පත්වන අවස්ථා බොහෝ ඇත. ඒ අතර 1841 බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී පැන වූ අයාල ආඥා පනත සහ දණ්ඩ නීති සග්‍රහයේ 399 වැනි වගන්තිය උදාහරණ ලෙස සඳහන් කළ හැකිය.
නමුත් අපගේ අසල්වැසි ඉන්දියාවේ සංකාන්ති සමාජභාවී පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ හැඳුනුම්පතක් ලබා දී මේ ගැටලුව නිරාකරණය කර ඇත.
2021 වර්ෂයේ දී සමානාත්මතා අරමුදල මගින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ සමීක්ෂණයට ලක් වූ පුද්ගලයන්ගෙන් 1%ක් පමණ පිරිසක් සංක්‍රාන්ති ලිංගිකයන් බවයි. ඒ අනුව ඔවුන් එය ප්‍රක්ෂේපණය කිරීමෙන් අනුමාන කර ඇත්තේ මෙරට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ලක්ෂ 14-15ක් පමණ ජීවත්වන බවයි.
මෙය සැළකිය යුතු ජනගහණයකි.
අප රටේ ඔවුන්ට වෙනස් කොට නොසළකා සාමාන්‍ය පුද්ගලයකු ලෙස දිවි ගෙවන්නට අවස්ථාව දීම ඡන්ද අයිතියෙන් පටන්ගනිමු යැයි හඬක් නගන්නේ එය පහසුවෙන් ම කළ හැකි ආදර්ශවත් ක්‍රියාවක් බැවිනි.
එවිට ඔවුන් තවදුරටත් මේ සමාජය තුළ සැඟවී නොසිට සැබෑ මනුෂ්‍යයන් ලෙස සාමාන්‍ය ජීවිතයක් ගතකරනු ඇත. සිදුවිය යුත්තේ එයයි.