තම බිරිඳට අමානුෂික වද හිංසා පමුණුවන ගාල්ලේ ව්‍යාපාරිකයකු, මුදල් බලය යොදාගනිමින් නීතිය මඟ හැරීමට සූදානම් වන්නේ යැයි ගාල්ල ජාතික රෝහලේ වෛද්‍යවරු චෝදනා කරති.
මූල්‍ය ගනුදෙනු සිදුකරන සමාගමක් පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ අද (07) වනවිටත් ගාල්ල ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ගැහැණු වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය විසින් කරන ලද පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඇගේ සිරුරේ බරපතල තත්වයේ තුවාල 06ක් ඇතුළු තුවාල 30ක් පමණ දක්නට ඇති බවයි.
33 වැනි වියේ පසුවන එම කාන්තාව දීර්ඝ කාලයක සිට සැමියාගේ වද හිංසාවලට ගොදුරු වී ඇති අතර ඇයට වයස අවුරුදු 25 දී ද මෙලෙසම කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබිණි. එම අවස්ථාවේ දී අදාළ සැකකරු මම සල්ලි වියදම් කරලා නඩුවෙන් බේරෙනවා යැයි වෛද්‍යවරුන්ට පවසා තිබිණි. කෙසේ වෙතත් එවර ඇයට කරන ලද වදහංසා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැත. එම කාන්තාවට සහ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට බලපෑම් කරමින් එම සිදුවීම සමථයකට පත්කරගැනීමට එදා අදාළ ව්‍යාපාරිකයා සමත්ව ඇත.
අද (07) දිනයේ දී ද අදාළ සැකකාර ව්‍යාපාරිකයා නීතිඥයන් කිහිප දෙනකු සමඟ ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණ බිරිඳගේ සිරුරේ ඇති තුවාල සම්බන්ධයෙන් නිකුත් කරන වෛද්‍ය වාර්තාව වෙනස් කිරීමට විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් සිටින බව වෛද්‍යවරු කියති.
පොලිසිය ද මෙම සිද්ධියේ දී එම ව්‍යාපාරිකයාගේ මුදල් බලයට යටත් වී ඇතැයි ද වෛද්‍යවරුන්ගේ අදහසයි.
කෙසේ වෙතත් එම කාන්තාවගේ ඇඟිලි මේසයක් මත තබා බර යමකින් පහරදීමෙන් කඩා දමා ඇති බැවින් ඇතැම් ඇඟිලි පුරුක් කැඩී ඇති බවත්, ඇගේ කනට උල් යමකින් ඇණීමෙන් සිදුරක් සෑදී ඇති බවත්, සිරුරේ තැන තැන පිළිස්සුම් තුවාල දක්නට ඇති බවත් වෛද්‍යවරුන්ගේ චෝදනාව වී ඇත.
අධිකරණ වෛද්‍යවරු පවසන්නේ මේ කාන්තාව සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීමට පොලිසිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානද කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
තුවාල ලැබූ කාන්තාව පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිය වෛද්‍ය වාර්තාව ලබා දී ඇති අතර සිය බිරිඳට බරපතල තුවාල සිදුකරමින් අමානුෂික වදහිංසා පැමිණ වූ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ සහ අධිකරණයේ කාර්ය භාරයකි.