spot_img
spot_imgspot_img

රෝගීන් කැමති, දොස්තරලා අකමැති කරාපිටියේ දොස්තරගේ සැඟවුණු කතාව

පුවත්

විදෙස්

සජීව විජේවීර

වෛද්‍යවරුන් අතර ඇතිකරගත් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම පියයුරු පිළිකා සායනය ලෙස ඇගයීමට ලක් වූ ගාල්ල ජාතික රෝහලේ පියයුරු පිළිකා ඒකක මේ වනවිට අතරමග නැවතී යාමේ තත්වයකට පත්ව ඇත.

මෙම පියයුරු පිළිකා සායනය පවත්වාගෙන ගියේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා විසිනි. ඇතැම් වෛද්‍යවරුන් විසින් අනීතික ලෙස අතිකාල දීමනා ගැනීම ඇතුළු රෝහලේ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එම වෛද්‍යවරයා විසින් ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කරන ලද ඉල්ලීමකින් පසු කරාපිටිය රෝහලේ වෛද්‍යවරු පිරිසක් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා වෙනත් රෝහලකට මාරු කරන මෙන් ඉල්ලා වැඩ වර්ජනයක නිරත වූහ.

ඇතැම් ක්ෂේත්‍ර සඳහා සුදුසුකම් ලැබූ විශේෂඥ වෛද්‍යවරු ඉටුකළ යුතු වගකීම් සහ සේවාවන් නිසි පරිදි සිදු නොකොට, තම වගකීම වෙනත් අයට සහ කණිෂ්ඨ වෛද්‍යවරුන්ට පැවරීම වැරදි ක්‍රියාවක් බව ද ඊට ඉඩ නොදෙන ලෙස ද ඔහු රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබිණි.  වැඩ වර්ජනයට හේතු ලෙස වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා අනෙක් වෛද්‍යවරුන් සමඟ ගැටුම් ඇතිකරගන්නා බවයි.

එම වැඩ වර්ජනය නැවැත්වීම සඳහා යැයි පවසමින් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වෙනත් රෝහලකට මාරුකර යවා ඇති අතර මේ වනවිට පියයුරු පිළිකා සායනය පමණක් නොව කරාපිටිය ශික්ෂණ රෝහලේ සායන කිහිපයක ම කටයුතු අඩපණ වී තිබේ. එමෙන් ම පෙර සැළසුම් කරන ලද පිළිකා සැත්කම් රැසක් සිදුකිරීමට නොහැකිව රෝගීන් දැඩි සේ අසරණව සිටින අතර, ශ්‍රී ලංකාවේ එකම සහන සත්කාර මධ්‍යස්ථානයේ ද කටයුුත අඩාල වී තිබේ.

මෙයට විරෝධය දක්වමින් ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය ඉදිරිපිට දී සුව වූ පිළිකා රෝගීන්, පිළිකා රෝගීන්ගේ ඥාතීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පසුගිය දා නිහඬ උද්ඝෝෂණයක ද නිරතවූහ.

නමුත් තවමත් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබී නැත. සායන වැසී ගොසිනි, ශල්‍යකර්ම කටයුතු නැවතීමෙන් පිළිකා රෝගීහු දිනෙන් දින තව තවත් අසරණ වෙති. වෛද්‍ය ප්‍රතිකාරවලින් තවදුරටත් සුවකළ නොහැකි රෝගීන් රැකබලා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාගේ මැදහත්වීමෙන් ඉදිකළ සහන සත්කාර මධ්‍යස්ථානයේ කටයුතු අඩපණ වී ඇත.

ගාල්ල ජාතික රෝහලේ වෛද්‍යවරු පිරිසක් පවසන්නේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා මාරුකර යවන ලද්දේ තවත් වෛද්‍යවරු පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා රැසකට ඔහු එරෙහි වූ බැවින් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය සාමාජිකත්වය වෙත යවන ලද ලිපිය

එහි ආසන්නම සිදුවීම ආරම්භවන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රගීත් සුගතදාස විසින් සිය සාමාජිකයන් වෙත යොමුකරන ලද ලිපියක් සමගිනි. 2024-10-14 වැනි දින යවා ඇති එම ලිපියේ දක්වා ඇත්තේ වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබාගත හැකි වේලාවන් තුළ දී එම අතිකාල දීමනා ලබාගන්නේ නම් පුද්ගලික සේවාවන් පවත්වාගෙන යාමෙන් වැළකිය යුතු බවයි. දැනටමත් ඇතැම වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ලබාගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබීමත් මේ පිළිබඳ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් පරීක්ෂණ පැවැත්වුවහොත් අපරාධ චෝදනා එල්ලවිය හැකි බැවින් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන්න යැයි එම ලිපිය මගින් දැනුම් දී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි ලිියක් තම සාමාජිකයන් වෙත නිකුත් කරනු ලබන්නේ වෛද්‍යවරු අතිකාල සේවයේ නොයෙදී ව්‍යාජ ලෙස අතිකාල දීමනා ලබාගන්නා බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් තිබිය දී ය.

මේ අතර විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා ද ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග වෙත ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ රෝහලේ ඇතැම් වෛද්‍යවරු අතිකාල සේවයේ නොයෙදෙමින්, ලබාගත හැකි උපරිම අතිකාල දීමනා ලබාගන්නා බවයි. එමෙන්ම රෝහලේ ඇතැම් පරිශ්‍රයන් මත්පැන් ශාලා ලෙසත්, සාද පැවැත්වීම සඳහාත් යොදා ගන්නා බැවින් එම අකටයුතුකම් නතර කිරිීමට පියවර ගන්නා ලෙසත් ඔහු එම ලිපිය මගින් ඉල්ලා තිබිණි.

වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා විසින් ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපිය

එයට පිළිතුරු ලබාදෙන රෝහල් අධ්‍යක්ෂවරයා ඔක්තෝබර් මස 30 වැනි දා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ මෙම ඇතැම් චෝදනා අසත්‍ය බවයි. වෛද්‍යවරු තම සේවා කාලය දිනපොතේ සටහන් කරගන්නා බැවින් ඔවුන් සේවයේ යෙදී සිටි කාලය සහ අතිකාල දීමනා පිළිබඳ සොයා බැලීමට කාලයක් ගතවන බවත්, වෛද්‍යවරුන් ආචාරධර්ම සංග්‍රහයකින් බැඳී සිිටින වෘත්තිකයන් පිරිසක් බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීම අපහසු බවත් රෝහල් අධයක්ෂවරයා දැනුම් දී තිබිණි.

අධ්‍යක්ෂවරයා විසින් විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට යැවූ පිළිතුරු ලිපිය

වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා කරන ලද එම චෝදනාව පිළිබඳ දැනගත් අතිකාල දීමනා ලබාගන්නා වෛද්‍යවරු පිරිසක් ඔහු සමඟ ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ ගෙන තිබිණි.

2020 ඔක්තෝබර් 23 වැනි දින වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාගේ ශල්‍යාගාරයට ගොස් ඔහු බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කළා යැයි චෝදනා ලැබ සිටි වෛද්‍යවරු කණ්ඩායමක් 2024 නොවැම්බර් මස 04 වැනි දා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබිණි.

නොවැම්බර් මස 04 වැනි දා ගාල්ල ජාතික රෝහලේ වෛද්‍යවරු පිරිසක් වැඩ වර්ජනයක් දියත් කළේය. ඔවුන් කියා සිටියේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාගේ වැඩ තහනම් කරන තුරු හෝ වෙනත් රෝහලකට මාරුකර යවන තුරු තමන් රාකාරී කටයුතුවලින් ඈත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එම නඩුවට පෙනී සිටි, රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් වන දහනායක යාපා දිනේෂ් චතුරංග, වීරසූරියගේ එරපතිනාත් විජේසූරිය, ජයවික්‍රම කංකානම්ලාගේ සංඛ ප්‍රදීප් ඒකනායක, කේසර දුලංග කුමාර යන වෛද්‍යවරුන් 04 දෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. අධිකරණයේ පෙනී නොසිටි රජගල්බොඩගේ සුධීර ලක්ප්‍රිය යන අයට නොතීසි නිකුත්කළ මහේස්ත්‍රාත්වරයා ලහිරු සසංග යන අයට වරෙන්තු කළේය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා සමඟ ඇතිකරගත් ගැටුමකට චූදිතයන් සම්බන්ධයෙන් අධිකරණය එලෙස තීන්දුවක් දෙන අවස්ථාව වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු පිරිසක් ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරයා රෝහලෙන් ඉවත්කරන තුරු වැඩ වර්ජනයක් දියත් කර තිබීම ද විශේෂත්වයකි.

අධිකරණය එවැනි පියවරක් ගෙන අවසන්වන විට ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග මහතා ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරයා කොළඹ අපේක්ෂ රෝහලට මාරුකර යැවීමේ ලිපියක් නිකුත් කර තිබිණි. මේ ලිපිය වෛද්‍ය ක්‍රිසන්ත අතට පත්වීමට පෙර එය මාධ්‍යයට නිකුත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෝ කටයුතු කළහ.

එම ලිපියේ දැක්වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා අපේක්ෂා රෝහලට මාරුකර යවන බවයි. එම ලිපිය නිකුත් කළ වහාම වෛද්‍යවරු වැඩ වර්ජනය අතහැර දැමූහ.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය නිර්මල වස්තුහේවා පවසන්නේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරුන්ට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරෙන බැවින් ඔහු‍ගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් වැඩ වර්ජනය ආරම්භ කළ බවයි. නමුත් වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බැවින් එම වැඩවර්ජනය අතහැර දැමූ බව ද ඔහු කීවේය.

නමුත් සැබැවින්ම සිදුවූයේ 2020 වර්ෂ‍යේ දී වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාට බැන තර්ජනය කළ වෛද්‍යවරු පිිරසක්, එම වැඩවර්ජනය පැවැත්වූ දිනයට පෙර දින අධිකරණයට කැඳවා තිබූ බවයි.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පවසන්නේ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට මෙම ස්ථානමාරුවීම ලබාදුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියට අනුව රාජ්‍ය  සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව බවයි.

මේ අතර විශේෂඥ ‍පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මරුකර යැවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්වන බවත්, මෙය රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමයේ අතිකාල වංචා සිදුකරන වෛද්‍යවරුන්ගේ සහ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංගගේ කුමන්ත්‍රණයක් බවත් පවසමින් විරෝධතා පැවැත්විණි.

එහිි දී අදහස් දැක්වූ ගම්හේවගේ ගුණරත්න මහතා මෙසේ කීවේය.

වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා කියන්නේ දෙවියෙක් වගේ රෝගීන්ට සේවය සළසන කෙනෙක්. රෝගීන්ට අසාධාරණ විදියට සළකන අය තමයි මේ වෛද්‍යවරයාට විරුද්ධව වැඩ කරන්නේ. මේක ඉතාමත් අසාධාරණ දෙයක්.

චිත්‍රා රෝහිණී මහත්මිය මෙසේ පැවසුවා ය.

අපි කුලීවැඩ කරන්නේ. මගේ මහත්තයාට පිළිකාවක් තියෙනවා. කරාපිටියට අවුරුද්දක් විතර ආවා. එක එක වාට්ටුවල දාලා ඇඳක්වත් නැතිව දුක් වින්දා. අන්තිමේ දී මම සෞඛ්‍ය ඇමතිතුමාට මේ ගැන කිව්වා. ඒ වෙලාවෙම වෛද්‍ය ක්‍රිසන්තට යොමුකළා. අපි එතකොට තමයි පිළිකා ඒකකයට ආවේ. එතුමා ලබන මාසේ ම‍ගේ මහත්තයාගේ පිළිකාවට සැත්කමක් කරන්න දින දුන්නා. එදත් අපිට කිව්වා රෝහලේ අනිත් වෛද්‍යවරු පිළිකා රෝගීන් තියාගෙන අමාරුවේ දානවා කියලා. අපිට තේරෙනවා අනිත් වෛද්‍යවරු මේ වෛද්‍යවරයාට හරියට වැඩ කරන්න දෙන්නේ නෑ කියලා.

මේ පිළිබඳ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගෙන් විමසූ ට ඔහු කියා සිටියේ අධිකරණයේ විභාගවන කටයුතු සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය අංශයේ කටයුතු සම්බන්ධයෙන් තමන්ට මාධ්‍යයට කිසිම අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි. තමන් 2024 දෙසැම්බර් 01 වැනි දා සිට විශ්‍රාම පූර්ව නිවාඩු ඉල්ලා තිබූ බවත්, මෙම මාරුවීම නිසා ඊට පෙර විශ්‍රාම යාමට බලාපොරොත්තු වනබවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

3 COMMENTS

  1. O.T.. gena hoyanna epei.. mulinma.. O.T.. mankolla karayo.. tika maru kalanam hari uthuru negenahira are walata… Diary wala liyagena O.T hedima mona gon theory k sa?? Kemathi ewa liyanna puluwan.. finger print machine demmama iwarai.. loku podi hemotama.. Colombo hospital eke.. male attendant la enawa.. finger print thiyanawa.. threwheel duwanawa.. off time ekata evith.. ai egilla thiyanawa..

  2. This transfer was happened because of his actions of disturbing and disruption of cancer surgical operating theatre. He has gone and threatened in filth while two surgeons were operating including myself. I have recordings with me. This is nothing to do with court case. Decision to transfer him out of Karapitiya came from the ministry of health pending public service commission inquiry against him for his behaviour. So do not publish unverified things in your tabloid which will loose your credibility…

  3. පිස්සෙක් දොස්තර උනත් එකයි දොස්තර පිස්සෙක් උනත් එකයි. විජේවීර වැරදි කොනිං අල්ලං ඉන්නෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!